අංගුත්තර නිකාය
එක නිපාතය
2. රථකාර වර්ගය
19. පාපනික සූත්‍රය
“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳතෙම නොලැබූ ධන ලැබීමට හෝ ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුක්තවූ මහණතෙම නොලැබූ කුසල් ලබන්ටද ලැබූ කුසල් දියුණු කරන්ටද සුදුසු නොවේ කවර අංග තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි අරමුණු මනාකොට නොවඩයිද දවල් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද සවස් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්ම ලැබීමට හෝ ලැබූ කුශල ධර්ම දියුණුකිරීමට හෝ සුදුසු නොවේ
“මහණෙනි, කරුණු තුනකින් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටත්, ලැබූ ධනය දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙමේ උදය කාලයෙහි මනාකොට කටයුතු කරයිද, දවල් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, සවස් කාලයෙහි මනාකොට කටයුතු කරයිද මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටද ලැබූ ධනය දියුණුකිරීමටද සුදුසු වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්මයන් ලැබීමටත් ලැබූ කුශල ධර්මයන් දියුණුකිරීමටත් සුදුසුවෙයි. කවර තුනකින්ද මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද දවල් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද සවස් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද මහණෙනි, මේ තුන් ධර්මයෙන් යුත් මහණතෙමේ නොලැබූ කුශල ධර්මයන් ලැබීමටත් ලැබූ කුශල ධර්මයන් දියුණු කිරීමටත් සුදුසුවෙයි”