අංගුත්තර නිකාය

එක නිපාතය

2. රථකාර වර්ගය

20. දුතිය පාපණික සූත්‍රය

“මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද විපුල බවටද පැමිණේ කවර තුනකින්ද මහණෙනි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, යන මේ තුනෙනි.

“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද මහණෙනි වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව මේ මිලට විකුණූ කල මෙතරම් ලාභ ඇත්තේයයි දන්නේය. මහණෙනි මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ

“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි වෙළඳතෙම බඩු ගැනීමටද විකිණීමටද දක්ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.

“මහණෙනි, කෙසේනම් උදව් උපකාර ඇත්තේ වේද මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ මහත් ධන ඇත්තාවූ මහත් වස්තුව ඇත්තාවූ යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද ඔව්හු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය. අඹුදරුවන් පොෂ්‍යකරන්ටද අපටද කලින්කල ලාභය දෙන්නටද සමර්ථයයි දැනගන්නාහුය. ඔව්හු ඒ වෙළෙන්දාට ‘යහළුව මෙයින් අඹුදරුවන්ද පොෂ්‍ය කරව, අපටද කලින්කල ලාභය දෙවයි’ ධනය දෙන්නාහුය. මහණෙනි මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද විපුල බවටද පැමිණේ.

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුත් මහණතෙමේ ධර්මයන්හි මහත් බවට විපුල බවට පැමිණෙන්නේය. කවර ධර්ම තුනකින්ද මහණෙනි මේ සස්නෙහි මහණතෙම නුවණ ඇත්තේවේද නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේවේද, උදව් උපකාරයන්ගේ පිහිට ඇත්තේ වේද, යන මේ කරුණු තුනය.

“මහණෙනි, කෙසේනම් මහණ තෙම නුවණ ඇත්තේවේද මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුතෙම මේ දුකයයි තත්වාකාරයෙන් දනීද මේ දුක් නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූපරිද්දෙන් දැනගණීද මහණෙනි මහණ තෙම මෙසේ වනාහි නුවණ ඇත්තේ වෙයි

“මහණෙනි, මහණතෙම කෙසේනම් නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම අකුශල කර්මයන් පහකරනු පිණිස කුසල ධර්මයන්ගේ දියුණුව පිණිස පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද කුශල ධර්මයන්හි බලවත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද මහණෙනි මෙසේ වනාහි මහණතෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම පිහිට ඇත්තේ වේද, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම යම් ඒ භික්ෂූහු බහුශ්‍රැත වෙත්ද ප්‍රගුණ කළ නිකාය ඇත්තාහුද සූත්‍ර පිටකය දරන්නාහුද විනය පිටකය දරන්නාහුද, උභය මාතෘකා දරන්නාහුද, ඒ භික්ෂූන් කරා කලින්කල පැමිණ ස්වාමීනි මෙය කෙසේද මේ ධර්මයාගේ අර්ථය කවරේදැයි අසන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු නොවැටහුණ දේ වටහාවත් ප්‍රකටනොවූ දේ ප්‍රකට කෙරෙත්, නොයෙක් සැක කටයුතු ධර්මයන්හි සැක දුරුකරත්, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පිහිට ඇත්තෙක් වෙයි. මහණෙනි මේ ධර්ම තුනෙන් යුත් මහණ තෙමේ නොබෝ කලකින්ම ධර්මයන්හි මහත් බවට විශාල බවට පැමිණෙයි”

(දෙවෙනි රථකාර වර්ගය නිමි.)