අංගුත්තර නිකාය
එක නිපාතය
4. දේවදූත වර්ගය
31. සබ්‍රහ්මක කුල සූත්‍රය
“මහණෙනි, ස්වකීය ගෘහයෙහි යම් දූදරුවන් විසින් මවුපියෝ පිදීම කරන ලද්දාහු වෙද්ද ඒ කුලයෝ බ්‍රහ්මයන් සහිත වෙත්, ස්වකීය ගෘහයෙහි යම් දූදරුවන් විසින් මවුපියෝ පුදනලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්වාචාර්‍ය්‍යයන් සහිත වෙත්. ස්වකීය ගෘහයෙහි දූ දරුවන් මවුපියෝ පුදනලද්දාහු වෙත්ද ඒ කුලයෝ ආහාර පානාදියෙන් පිදියයුත්තන් සහිත වෙත්. මහණෙනි ‘බ්‍රහ්ම’ යන මෙය මවුපියන්ට නමකි. මහණෙනි, පුබ්බාචරිය’ යන මෙය මවුපියන්ට නමකි ‘ආහුනෙය්‍ය’ යන මෙය මවුපියන්ට නමකි.
“ඊට හේතු කවරේද? මවුපියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ජීවිතය ආරක්ෂා කරන්නෝද වෙති. පොෂ්‍ය කරන්නෝද වෙති. මේ ලොකය පෙන්වන්නෝද වෙති.
(1) “මවුපියෝ පුත්‍රයන්ට බ්‍රහ්මයයිද පූර්වාචාර්‍ය්‍යයයිද ආහුනෙය්‍ය යයිද කියනු ලැබෙත්. පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නෝය. එහෙයින් වනාහි පණ්ඩිත තෙමේ ඒ මවුපියන් නමස්කාර කරන්නේය.
(2) “තවද ආහාරයෙන්ද පානයෙන්ද වස්ත්‍රයෙන්ද සයනයෙන්ද ඇඟ ඉලීමෙන්ද නෑවීමෙන්ද පා සේදීමෙන්ද සත්කාර කරන්නේය.
(3) “මව්පියන් කෙරෙහි කරණ ලද ඒ උපස්ථාන හේතුවෙන් පණ්ඩිතයෝ මෙලෙව්හිද, ඔහුට ප්‍රශංසාකරත්. පරලෙව්හි ස්වර්ගයෙහිද සතුටුවේයයි” වදාළසේක.