අංගුත්තර නිකාය
එක නිපාතය
4. දේවදූත වර්ගය
32. ආනන්ද සමාධි පටිලාභ සූත්‍රය
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණිසේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේට “ස්වාමීනි, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යන මොහු නොවන්නාහුද පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද මාන නවයද, අනුශය සතද, යන මොහු නොවන්නාහුද, යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට අර්හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව මානානුසය යන මොහු නොවෙද්ද එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේ දැයි?” (ඇසීය).
“ආනන්දය, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යන මොහු නොවන්නාහුය. යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට අර්හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව මානානුසය යන මොහු නොවෙත් එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේයයි” වදාළේය.
“ස්වාමීනි, කෙසේනම් විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දාෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යම්සේ නොවෙත්ද, පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යම්සේ නොවෙත්ද, යම් අර්හත් ඵල සමාධියකටද, අර්හත් ඵල ප්‍රඥාවකටද, පැමිණ වාසයකරන්නහුට මමය යන දෘෂ්ටිය මගේය යන තෘෂ්ණාව මාන නවය, අනුශය සත, නොවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියටද අර්හත් ඵල ප්‍රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම කෙසේ වන්නේදැයි” ඇසීය.
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුහට මෙබඳු සිතක් වෙයි. (කෙසේද) මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙක් වේද, කාමාදී සියලු උපධින්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාහුගේ ක්ෂයවීමක් වේද, නොඇලීමක් වේද, දුක්ඛ නිරොධයක් වේද, නිර්වාණයක් වේද, (එයයි).
“ආනන්දය, යම්සේ මේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යම්සේ නොවෙද්ද? පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද, යම්සේ නොවෙත්ද, යම් අර්හත් ඵල සමාධියකටද, අර්හත් ඵල ප්‍රඥාවකටද, පැමිණ වාසය කරන්නහුට මමය යන දෘෂ්ටිය, මගේය යන තෘෂ්ණාව මාන නවය, අනුශය සත, නොවෙත්ද, ඒ අර්හත් ඵල සමාධියටද අර්හත් ඵල ප්‍රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධි ලාභයක් වන්නේය. ආනන්දය මෙයද වනාහි මේ සඳහා පාරායන වර්ගයෙහි පුණ්ණක නම් ප්‍රශ්නයෙහි ප්‍රකාශ කරණ ලද්දේය.”
“යමෙකුට ලෝකයෙහි තමාගේද අනුන්ගේද ආත්මභාවයන් නුවණින් දැන ලෝකයෙහි කිසිවක්හි, කම්පාවීමක් නැත්තේද ශාන්තවූ කායදුශ්චරිතාදී දුම් රහිතවූ රාගාදී දුක් නැත්තාවූ තෘෂ්ණා රහිතවූ ඒ රහත් පුද්ගල තෙම ජාතිය හා ජරාව එතර කෙළේයයි කියමියි වදාළේය.”