අංගුත්තර නිකාය

එක නිපාතය

8. ආනන්ද වර්ගය

73. මහානාම (සමාධිඤාණ) සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කිඹුල්වත් පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන්වහන්සේ ගිලන්භාවයෙන් නැඟී සිටියෝ වෙත්. ගිලන්කමින් නැඟිට නොබෝකල් ඇත්තෝ වෙත්. එකල්හි මහානාම ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්තේය.

එක් පසෙක හිඳගත් මහානාම ශාක්‍යතෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, මම බොහෝ කලක පටන් භාග්‍යවතුන්වහන්සේ විසින් සමාධියෙන් යුක්තවූවහුට ඥානය වෙයි. සමාධියෙන් යුක්ත නොවූවහුට ඥානය නොවේයයි මෙසේ ධර්ම දෙශනා කරන ලද බව දනිමි. ස්වාමීනි, පළමුකොට සමාධිය ඇතිවේද පසුව ඥානය ඇතිවේද? නොහොත් පළමුකොට ඥානය ඇතිවේද පසුව සමාධිය ඇතිවේද? යනුයි.”

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන්වහන්සේ ගිලන්කමින් නැඟී සිටියෝ වෙත්. ගිලන්කමින් නැගිට නොබෝකල් ඇත්තේ වෙත්. මේ මහානාම ශාක්‍යතෙමේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක් අසයි. මම මහානාම ශාක්‍යයා එක් පසකට ඉවත්කොට ධර්ම දෙශනා කරන්නෙම් නම් මැනවි’ කියායි.

ඉක්බිති, ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම මහානාම ශාක්‍යයාගේ දකුණු බාහුවට ඇඟිල්ලෙන් සංඥාකොට එක් පසෙකට කැඳවා මහානාම ශාක්‍යයාහට මෙසේ කීය. “මහානාමය, භාග්‍යවතුන්වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණලදී. අසෙඛ සීලයද වදාරණ ලදී. සෙඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂ ප්‍රඥාවද වදාරණ ලදී. අශෛක්ෂ ප්‍රඥාවද වදාරණ ලදී.

මහානාමය, අසෙඛ සීලය නම් කුමක්ද? මහානාමය මේ ශාසනයෙහි මහණ තෙමේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාර ගොචර දෙකින් සමන්විතව ශික්ෂාපදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කෙරේද, මහානාමය, මේ සෙඛ සීලයයයි කියනු ලැබේ.

“මහානාමය, සෙඛ සමාධිය නම් කුමක්ද? මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම (8 වෙනි සූත්‍රයේ 3. (iii) විතර්ක සහිත යන තැන සිට සතරවෙනි යන තැන දක්වා යොදාගත යුතුය) චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහානාමය මේ සෙඛ සමාධියයයි කියනු ලැබේ.

“මහානාමය, කුමක් ශෛක්ෂප්‍රඥාව නම් වේද, මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිදි දනියිද, මෙය දුකට හෙතුව යයි තත්වූ පරිදි දනියිද මෙය දුක නැති කිරීමයයි තත්වූපරිදි දනියිද මෙය දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි දනියිද මහානාමය, මෙය ශෛක්ෂප්‍රඥාවයයි කියනුලැබේ.

“මහානාමය, මේ සීලයෙන් යුත් මේ සමාධියෙන් යුත් මේ ප්‍රඥාවෙන් යුත් ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියද අර්හත් ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශෙෂයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසයකරයි. මහානාමය, මෙසේ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණ ලදී. අසෙඛ සීලයද වදාරණ ලදී. සෙඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂප්‍රඥාවද වදාරණලදී. අශෛක්ෂ ප්‍රඥාවද වදාරණ ලදී.”