අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය

9. ආනන්‍ද - භික්ඛුනී සූත්‍රය

එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර, ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුණියක් එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. ’එම්බා පුරුෂය, ඔබ මෙහි එන්න. ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි යව්. ගොස් මාගේ වචනයෙන් ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට වඳුව.

’’ස්වාමීනි, මෙනම් ඇති භික්‍ෂුණිය ලෙඩ ඇත්තීය. දුක් ඇත්තීය. දැඩි ගිලන් ඇත්තීය. ඕතොමෝ ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ පා සිරසින් වඳී. මෙසේද කියව, ’ ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භික්‍ෂුණී අසපුව යම් තැනෙක්හිද, ඒ භික්‍ෂුණිය යම් තැනෙක්හිද, එහි අනුකම්පා උපදවා වඩීවා යහපත්ය,’ ’’ කියායි.

ඒ පුරුෂතෙම, ’ආර්‍ය්‍යාවෙනි, එසේය’ යි ඒ පුරුෂතෙම භික්‍ෂුණියට පිළිවදන් දී, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ පුරුෂතෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ’’ස්වාමීනි, මෙනම් ඇති භික්‍ෂුණිය ලෙඩ ඇත්තීය. දුක් ඇත්තීය. දැඩි ගිලන් ඇත්තීය. ඕතොමෝ ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ පා සිරසින් වඳී. ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භික්‍ෂුණී අසපුව යම් තැනෙක්හිද, ඒ භික්‍ෂුණිය යම් තැනෙක්හිද, එහි අනුකම්පා උපදවා වඩීවා යහපත්ය,’’ කියායි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසූසේක.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හැඳ, පෙරවා, පාත්‍ර සිවුරු ගෙන භික්‍ෂුණී ආශ්‍රමය යම් තැනෙක්හිද, එහි පැමිණි සේක.

ඒ භික්‍ෂුණිය, දුරින්ම එන ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැක්කේය. වඩින්නාවූ උන්වහන්සේ දැක හිස සහිතව පොරවා ඇඳෙහි හොත්තේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂුණිය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩසිටි සේක. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඩසිට ඒ භික්‍ෂුණියට, ’’නැගණියනි, මේ කය ආහාරයෙන් හටගත්තේය. ආහාරය ඇසුරුකොට ඇත්තේය. ආහාරය අත්හැරිය යුතුය.

’’ නැගණිය, මේ ශරීරය තෘෂ්ණාවෙන් හටගත්තේය. තෘෂ්ණාව ඇසුරුකළේය තෘෂ්ණාව අත්හැරිය යුතුය. නැගණිය, මේ ශරීරය මානයෙන් හටගත්තේය. මානය ඇසුරුකොට ඇත්තේය. මානය දුරු කටයුතුය. නැගණිය, මේ ශරීරය මෛථුනයෙන් හටගත්තේය. මෛථුනය ප්‍රත්‍යය. නැසීම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළසේක.

’’නැගණියෙනි, මේ ශරීරය ආහාරයෙන් හටගත්තේය. ආහාරය ඇසුරුකර ඇත්තේය. ආහාරය ප්‍රහීන කටයුතුයයි යන යමක් වදාළසේක්ද, මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?

’’නැගණියෙනි, මේ ලොකයෙහි මහණ නුවණින් කල්පනාකොට ආහාරය ගනියි. ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. අඩුතැන් පිරවීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. යම්තාක් මේ ශරීරය පැවැත්ම පිණිස, යැපීම පිණිස, විහිංසාව දුරුවීම පිණිස, බ්‍රහ්මචරියට අනුකම්පා පිණිස, ආහාරය ගනියිද, මෙසේ පරණ වේදනාව සංසිඳුවමි, අළුත් වේදනාවක් නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව වන්නේය. නිවරද බව, පහසු විහරණයද වන්නේය,’’ කියායි.

’’හෙතෙම මෑත භාගයෙහි ආහාරය නිසා ආහාරය අත්හරියි. නැගණියනි, මේ ශරීරය ආහාරය ඇසුරුකොට වේ. ආහාරය දුරුකටයුතුය. මෙසේ යමක් කියන ලද්දේද, එය මේ සඳහා වදාරණ ලද්දේය.

’’නැගණියනි, මේ ශරීරය තෘෂ්ණාවෙන් හටගත්තේය. තෘෂ්ණාව ඇසුරුකොට වේ. තෘෂ්ණාව දුරු කටයුතුය. මෙසේ යමක් වදාරණ ලදද, මෙය කුමක් සඳහා කියන ලදද,

’’නැගණියෙනි, මේ ලෝකයෙහි නැගණියක්, ’අසවල් භික්‍ෂුව ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන්, ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. ඔහුට මෙසේ සිතෙයි. ’කවදා නම් මමත් ආශ්‍රවයන් ක්‍ෂය වීමෙන් අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේමි’ යි.

’’හෙතෙම මෑත භාගයෙහි තෘෂ්ණාව නිසා තෘෂ්ණාව අත්හරියි. නැගණියනි, ශරීරය තෘෂ්ණාවෙන් උපන්නේය. තෘෂ්ණාව ඇසුරුකොට සිටී. තෘෂ්ණාව ප්‍රහීන කටයුතුයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.

’’නැගණියනි, මේ ශරීරය මානයෙන් හටගත්තේය. මානය ඇසුරුකොට ඇත්තේය. මානය දුරු කටයුතුය. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?

’’නැගණියෙනි, මේ ලෝකයෙහි භික්‍ෂුවක්, ’අසවල් භික්‍ෂුව ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේයයි අසයි.

’’ඔහුට මෙසේ සිතක් වේ. ’ඒ ආයුෂ්මත් තෙමේ ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරයි. මා ගැන කෙසේදැයි සිතෙයි.’

’’හෙතෙම මෑත භාගයෙහි මානය නිසා මානය හරියි. නැගණියනි, මේ ශරීරය මානයෙන් හටගත්තේය. මානය නිසා මානය පැහිය යුතුය. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී. නැගණිය, මේ ශරීරය මෛථුනයෙන් උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයේ හේතුව නැසීම වදාරණ ලදී.’’

’’එකල්හි ඒ භික්‍ෂුණිය ඇඳෙන් නැගිට උතුරු සළුව එකස්කොට ආයුෂමත් අනඳ ස්ථවිරයන්ගේ පාමුල හිසින් වැටී ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙසේ කීයේය. ’’ස්වාමීනි, වැරැද්ද මා පහව ගියේය. මෙසේ බාල මුළා අකුසල්වූ යමක් යම් බඳුවූ මම කෙළෙම්ද, ඒ මට ආර්‍ය්‍ය ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැරැද්ද වැරැද්ද වශයෙන් අනාගතයට සංවරය පිණිස පිළිගන්නා සේක්වා.’’

’’යම්බඳුවූ තොප මෙසේ කෙළේද, එසේ නම් නැගණිය, බාලවූ, මුළාවූ අකුසල්වූ, වැරැද්ද ඉක්ම යේවා. නැගණිය, ඔබ යම් වේලාවත පටන් වැරැද්ද වැරැද්ද වශයෙන් දැක, ධර්‍මයවූ පරිදි පිළියම් කෙරේද, තොපගේ එය මම පිළිගනිමි. නැගණිය, වැරැද්ද වැරැද්ද වශයෙන් දැක ආයති සංවරය පිණිස ධර්‍මයවූ ධර්‍මයවූ පරිදි ප්‍රතිකම් කෙරේද මෝ තොමෝ අර්‍ය්‍ය විනයෙහි වැඩීමකි.