අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(21) 1. සප්පුරිස වර්‍ගය

10. දුතිය පාපධම්ම සූත්‍රය

’’මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.

’’එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,

’’මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාය. මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශයින් පාප ස්වභාවයෙන් යුත් පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්‍මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද, මහණෙනි, මේ පාප ස්වභාව ඇත්තන්ගෙන් අතිශයින් පාප ස්වභාව ඇත්තේයයි කියනු ලැබේ.

’’මහණෙනි, යහපත් ස්වභාව ඇත්තේ කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද, සම්‍යක් වචන ඇත්තේද, සම්‍යක් කටයුතු ඇත්තේද, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද, යහපත් නුවණ ඇත්තේ වේද, යහපත් මිදීම ඇත්තේ වේද,

’’මහණෙනි, මේ යහපත් ස්වභාව ඇත්තේයයි කියනු ලැබේ.

’’මහණෙනි, යහපත් ස්වභාව ඇත්තන්ගෙනුත් අතිශයින් යහපත් ස්වබාවය ඇත්තා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද, අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,

’’මහණෙනි, මේ යහපත් ස්වභාව ඇත්තාට වඩා අතිශයින් යහපත් ස්වභාව ඇත්තායයි කියනු ලැබේ.

විසිඑක්වන සත්පුරුෂ වර්‍ගය නිමි.