අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. පත්ත කම්ම වර්‍ගය
3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය
’’මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ බ්‍රාහ්මයා සහිත කුල වෙති. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිත වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතය. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ දුර සිට ගෙනෙන ලද දෙය දීමට සුදුසු කුල වෙති.
’’මහණෙනි, බ්‍රහ්ම යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වදේවතා යනු මවු පියන්ට නමකි. මහණෙනි, ආහුනෙය්‍ය යනු මවු පියන්ට නමකි. ඊට හේතු කවරේද? මහණෙනි, මව්පියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තාහ. හදා වඩන්නෝය. පෝෂ්‍යය කරන්නෝය. මේ ලොව පෙන්වන්නාහුය.’’
’’ප්‍රජාවට අනුකම්පා කරණ මව්පියෝ පුත්‍රයන්ට බ්‍රහ්මයෝ යයිද, පූර්‍වාචාර්‍ය්‍යයෝ යයිද, දුර සිට ගෙනවුත් පිදිය යුත්තෝ යයිද, කියනු ලැබෙත්. එසේ හෙයින් ඤාණවන්ත තෙමේ ඔවුන් වඳින්නේය. ආහාරයෙන්ද, නැවත පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සේනාසනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නැහැවීමෙන්ද, පා දෙවීමෙන්ද සත්කාර කරන්නේය.. මවුපියන් කෙරෙහි කරණ මේ උපකාරයන් මෙලොවම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහි සතුට වේය’’ යි වදාළ සේක.