අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)

2. වුද්‍ධාපචායන සූත්‍රය

’’ඉක්බිති දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්නාවූම දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. ’’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමතෙම ජරාවෙන් ජීර්‍ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද,

යන මෙය මා විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය එසේමය. භවත් ගෞතම තෙමේ ජරාවෙන් ජීර්‍ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය නුසුදුසුමය’’ යි කීයේය.

’’දොාණය, නුඹත් බ්‍රාහ්මණයෙකැයි ප්‍රතිඥා කරන්නෙහිදැ’’ යි ඇසූ සේක.

’’ භවත් ගෞතමයන් වහන්ස, ඒ යමෙකුට වනාහි මනාකොට කියනු ලබන්නෙක් කියන්නේද, බ්‍රාහ්මණතෙමේ,

මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්‍ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.

’’භවත් ගෞතමයන් වහන්ස. මම වනාහි මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්‍ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.

’’දොාණය, පූර්‍ව කාලයෙහිවූ බ්‍රාහ්මණයන්ගෙන් මන්ත්‍ර කරන්නාවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, යම් ඎෂීහු වෙද්ද, යම් කෙනෙකුන්ගේද, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ පුරාණවූ ගායනා කරණලද, කියනලද. රැස්කරණලද, මේ වේද මන්ත්‍රයට අනුව ගායනා කෙරෙද්ද, එයට අනුව කියද්ද, කියන ලද්ද අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවනලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය යන මොවුහු බ්‍රාහ්මණයන් පස් දෙනෙක් පනවත්. බ්‍රහ්මසමය, දේවසමය, මර්‍ය්‍යාදය, සම්හින්න මර්‍ය්‍යාදය, බ්‍රාහ්මණ චණ්ඩාල යන මොහුම පස්වෙනිකොට ඇත්තේය. දොාණය, ඔවුන්ගෙන් නුඹ බ්‍රාහ්මණ වෙහිදැ?’’ යි ඇසූ සේක.

’’භවත් ගෞතමයන් වහන්ස, අපි මේ බ්‍රාහ්මණයන් පස්දෙනා නොදනිමු. වැළිදු අපි බ්‍රාහ්මණයෝ යයිම දනිමු. භවත් ගෞතම තෙමේ යම්සේ මම මේ බ්‍රාහ්මණයන් පස්දෙනා දැනගන්නෙම්ද, එසේ මට ධර්මය දේශනාකරණ සේක්වා. මැනව’’ යි කීයේය.

’’බ්‍රාහ්මණය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි’’ යි කී සේක. ’’එසේය, පින්වතුන් වහන්සැ’’ යි කියා දෝණ නම් බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’දෝණය, කෙසේ නම් බමුණු තෙම බ්‍රහ්මසම වේද? දෝණය, මෙහි බමුණුතෙම (2) මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.

’’දෝණය. එහි ධර්‍මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී, හිසකේ රැවුල් බාවා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදි වේද, මෙසේ පැවිදිවූම හෙතෙම ( මෙහි දීඝ නිකායේ 17 සූත්‍රයේ 2 බණවරෙහි 4 ඡේදයේ ’මෛත්‍රී සහගත සිතින්’ යන තැන සිට යොදාගත යුතුයි.)

හෙතෙම මේ සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ බඹලොව උපදී. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම බ්‍රහ්මසම නම් වේ.

’’දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම දේවසම නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.

’’දෝණය. එහි ධර්‍මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් දී, අඹුවක් සොයයි. ධර්මයෙන්ම වේ. අධර්මයෙන් නොවේ.

’’දෝණය, එහි ධර්‍මය නම් කවරේද? මිළදී ගැණීමෙන් නොවේ. විකුණා ගැණීමෙන් නොව්. අතපැන් වත්කර දෙන ලද බැමිණියක්මය. හෙතෙම බැමිණියක් වෙතම යයි. කෂත්‍රියාවක් වෙත නොයයි. වෛශ්‍ය වංශ ඇත්තියක් වෙත නොයයි. ශුද්‍රියක් වෙත නොයයි. සැඩොලියක් වෙත නොයයි. වැදි ස්ත්‍රියක් වෙත නොයයි. කුළුපොතු ස්ත්‍රියක් වෙත නොයයි. රියකරු ස්ත්‍රියක් වෙත නොයයි. කසල ශෝධක ස්ත්‍රියක් වෙත නොයයි. ගැබිණියක් වෙත නොයයි. කිරි පොවන ස්ත්‍රියක් වෙත නොයයි. ඔසප් නොවූ ස්ත්‍රියක් වෙත නොයයි.

’’දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණ තෙම ගැබිණියක් වෙත නොයාද, දෝණය. ඉදින් බ්‍රාහ්මණතෙම ගැබිණියක් වෙත යේ නම් ඒ මානවකයා හෝ මානවිකාව ඉතා අපවිත්‍රයෙහි උපන්නෙක් නම් වේ.

දෝණය, එහෙයින් බ්‍රාහ්මණතෙම ගැබිණිය වෙත නොයයි. දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණතෙම කිරි පොවන්නියකු වෙත නොයයිද? දෝණය, ඉදින් බ්‍රාහ්මණ තෙම කිරි පොවන්නියකු වෙත යේ නම්, ඒ දරුවා හෝ දැරිය අපවිත්‍රව පානය කරණ ලද්දේ නම් වේ. දෝණය එහෙයින් බ්‍රාහ්මණ තෙම කිරි පොවන්නියක වෙත නොයයි. දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණතෙම ඔසප් නොවූ ස්ත්‍රියක වෙත නොයේද, දෝණය, ඉදින් බ්‍රාහ්මණතෙම ඔසප් නොවූ ස්ත්‍රියක වෙත යේ නම් ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිස නොවන්නීය. ක්‍රීඩා පිණිස නොවන්නීය. ඇළුම් පිණිස නොවන්නීය. දරුවන් පිණිස නොවන්නීය.

’’හෙතෙම පුතෙකු හා දුවක උපදවා, හිසකේ රැවුල් බාවා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේ. ( මෙහි 2 පණ්ණාසකයේ තික නිපාතයෙහි 6 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි. පිට 304 )

’’හෙතෙම සතර ධ්‍යානයන් වඩා සිරුර බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම දේවසම නම් වේ.ි

’’දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම මර්‍ය්‍යාද නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.

’’දෝණය. එහි ධර්‍මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. එයද ධර්මයෙන්මැයි. අධර්‍මයෙන් නොවේ. දෝණය, එහි ධර්‍මය නම් කවරේද? මිළදී ගැණීමෙන් නොවේ. විකුණා ගැණීමෙන් නොව්. අතපැන් වත්කර දෙන ලද බැමිණියක්මය. හෙතෙම බැමිණියක් වෙතම යයි. කෂත්‍රියාවක් වෙත නොයයි. වෛශ්‍ය වංශ ඇත්තියක් වෙත නොයයි. ශුද්‍රියක් වෙත නොයයි. සැඩොලියක් වෙත නොයයි. වැදි ස්ත්‍රියක් වෙත නොයයි. කුළුපොතු ස්ත්‍රියක් වෙත නොයයි. රියකරු ස්ත්‍රියක් වෙත නොයයි. කසල ශෝධක ස්ත්‍රියක් වෙත නොයයි. ගැබිණියක් වෙත නොයයි. කිරි පොවන ස්ත්‍රියක් වෙත නොයයි. ඔසප් නොවූ ස්ත්‍රියක් වෙත නොයයි.

’’දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණ තෙම ගැබිණියක් වෙත නොයාද, දෝණය. ඉදින් බ්‍රාහ්මණතෙම ගැබිණියක් වෙත යේ නම් ඒ මානවකයා හෝ මානවිකාව ඉතා අපවිත්‍රයෙහි උපන්නෙක් නම් වේ.

’’හෙතෙම පුතෙකු හා දුවක උපදවා ඒ පුත්‍ර ප්‍රේමයෙන්ම කැමතිවෙමින් පවුලෙහිම වසයි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි නොපැවිදි වෙයි. පුරාණවූ බමුණන්ගේ සීමාව දක්වා එහි සිටියි. එය නොඉක්මවයි. පුරාණවූ බ්‍රාහ්මණයන්ගේ සීමාව දක්වා එහි බ්‍රාහ්මණතෙම සිටියේ එය නොඉක්මවා යයි කියා දෝණය, එහෙයින් බ්‍රාහ්මණ තෙම මර්‍ය්‍යාද නම් වේයයි කියනු ලැබේ. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම මර්‍ය්‍යාද නම් වේ.

’’දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම සම්භින්න මර්‍ය්‍යාද නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.

’’දෝණය. එහි ධර්‍මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. ධර්‍මයෙන්ද අධර්‍මයෙන්ද මිළදී ගැනීමෙන්ද, විකුණා ගැනීමෙන්ද අත පැන් වත්කොට දෙන ලද බැමිණියක්ද වේ. හෙතෙම බැමිණිය වෙතදයයි. ක්‍ෂත්‍රියාව වෙතද යයි. වෛශ්‍ය ස්ත්‍රිය වෙතද යයි. ශුද්‍රිය වෙතද යයි. චණ්ඩාලිය වෙතද යයි. වැදි ස්ත්‍රිය වෙතද යයි. කුළු පොතු ස්ත්‍රිය වෙතද යයි. සොම්මරු ස්ත්‍රිය වෙතද යයි. කශළශොධක ස්ත්‍රිය වෙතද යයි. ගැබිණිය වෙතද යයි. කිරි පොවන ස්ත්‍රිය වෙතද යයි. ඔසප්වූ ස්ත්‍රිය වෙතද යයි. ඔසප් නොවූ ස්ත්‍රිය වෙතද යයි. ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිසද, ක්‍රීඩාව පිණිසද. ඇල්ම පිනිසද. දරුවන් පිණිසද වන්නීය.

’’දෝණය, පුරාණවූ බ්‍රාහ්මණයන්ගේ සීමාව දක්වා එහි බ්‍රාහ්මණතෙම නොසිටියේ එය ඉක්මවා යයි කියාම එහෙයින් බ්‍රාහ්මණතෙම බිඳිනලද සීමාව ඇත්තේයයි කියනු ලැබේ. දෝණය, මේසේ වනාහි බ්‍රාහ්මණතෙම සම්භින්න මර්‍ය්‍යාද නම් වේ.

’’දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම බ්‍රාහ්මණ චණ්ඩාල වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.

’’දෝණය. එහි ධර්‍මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. ධර්‍මයෙන්ද අධර්‍මයෙන්ද මිළදී ගැනීමෙන්ද, විකුණා ගැනීමෙන්ද අත පැන් වත්කොට දෙන ලද බැමිණියක්ද වේ. හෙතෙම බැමිණිය වෙතදයයි. ක්‍ෂත්‍රියාව වෙතද යයි. වෛශ්‍ය ස්ත්‍රිය වෙතද යයි. ශුද්‍රිය වෙතද යයි. චණ්ඩාලිය වෙතද යයි. වැදි ස්ත්‍රිය වෙතද යයි. කුළු පොතු ස්ත්‍රිය වෙතද යයි. සොම්මරු ස්ත්‍රිය වෙතද යයි. කශළශොධක ස්ත්‍රිය වෙතද යයි. ගැබිණිය වෙතද යයි. කිරි පොවන ස්ත්‍රිය වෙතද යයි. ඔසප්වූ ස්ත්‍රිය වෙතද යයි. ඔසප් නොවූ ස්ත්‍රිය වෙතද යයි. ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිසද, ක්‍රීඩාව පිණිසද. ඇල්ම පිණිසද. දරුවන් පිණිසද වන්නීය. හෙතෙම සියලු කර්‍මාන්තවලින් ජීවිකාව කරයි. ඔහුට බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. කුමක් හෙයින් පින්වත් තෙමේ බ්‍රාහ්මණයයි ප්‍රතිඥා කෙරෙමින් සියලු කර්‍මාන්ත වලින් ජීවිකාව කෙරේද, හෙතෙම මෙසේ කීය. ’’පින්වත යම්සේ ගින්න පවිත්‍රවූවක් දවාද, අපවිත්‍රවූවක් දවාද, එයින් ගින්න නොතැවරේද, පින්වත මෙපරිද්දෙන්ම සියලු කර්‍මාන්ත වලින්ම බ්‍රාහ්මණතෙම ජීවිකාව කෙරේද,එයින් බ්‍රාහ්මණතෙම නොතැවරේ.

’’දෝණය, සියලු කර්‍මාන්තවලින් ජීවිකාව කෙරේයයි එහෙයින් බ්‍රාහ්මණතෙම බ්‍රාහ්මණ චණ්ඩාලයයි කියනු ලැබේ. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණ තෙම බ්‍රාහ්මණ චණ්ඩාල නම් වේ. දෝණය, බ්‍රාහ්මණයන්ගේ පූර්‍ව කාලයෙහිවූ මන්ත්‍ර කරන්නාවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, යම් ඒ ඎෂීහු වූවාහුද, යම් කෙනෙකුන්ගේ ගායනා කරණ ලද, කියන ලද. රැස් කරණ ලද, මේ මන්ත්‍ර පදය මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ එයට අනුව ගායනා කරද්ද, එයට අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවන ලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරශය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය යන මොවුහු බ්‍රාහ්මණයන් පස් දෙනා පනවත්. බ්‍රහ්මසමය, දේවසමය, මර්‍ය්‍යාදය, සම්හින්න මර්‍ය්‍යාදය, බ්‍රාහ්මණ චණ්ඩාලම පස්වෙනිකොට ඇත්තේය. දොාණය, ඔවුන්ගෙන් නුඹ කවරෙක් වෙහිද?’’

’’භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි අපි බ්‍රාහ්මණ චණ්ඩාල පමණටත් නොපිරෙමු. භවත් ගෞතමයන් වහන්ස, ’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’