ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

2. සුමෙධපත්‍ථනා කාණ්ඩය

මහා කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, දශ ශබ්දයකින් තොරනොවූ, ආහාරපානයෙන් යුත් අමර(වතී) නම් නුවරක් වී.

ඇතුන්ගේ කුඤ්ච නාදයෙන්ද, අසුන්ගේ හේසාරවයෙන්ද, බෙර හඬින්ද, සක් හඬින්ද, ’’කව්, බොව්’’ යන හඬින්ද ඝෝෂා කරන ලද්දාවූ,

සියලු නගරාඞ්ගයෙන් යුත්, පැමිණි සියලු කර්‍මාන්ත ඇති, සත් රුවණින් සමන්විතවූ, නොයෙක් දේශවලින් පැමිණි නොයෙක් වෙස් ගත් ජනයාගෙන් ගැවසීගත්, පින්කම් කරන්නවුන්ට වාසස්ථානයක්වූ, ’’අමරවතී’’ නම් නුවර දෙව් නුවරක් මෙන් සමෘද්‍ධවී.

අමරවතී නම්වූ නුවරෙහි නිදන්කළ කෝටි ගණන් නොයෙක් ධනය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, ශාස්ත්‍ර පිරිවහන්නාවූ, අථර්‍වන් වේදය දරන්නාවූ, තුන් වේදයෙහි පරතෙරට පැමිණි, ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ කුල ධර්‍මයෙහිද පරතෙරට ගිය ’’සුමේධ’’ නම් බමුණෙක් (විය.)

ඒ (සුමේධ නම් බමුණුව උපන්) කාලයෙහි මම රහසිව (තනිව) හිඳගෙන මෙසේ සිතූයෙමි. ’’නැවත ඉපදීම නම් දුකයි. ශරීර භෙදයත් (මැරීමත්) දුකයි’’ (කියාය.)

ඒ කාලයෙහි මම ඉපදීම ස්වභාවකොට ඇත්තෙක්ද, දිරීම ස්වභාවකොට ඇත්තෙක්ද, ලෙඩවීම ස්වභාවකොට ඇත්තෙක්ද වීමි. දිරීමක් නැති, මරණයක් නැති, භවයක් නැති නිවණ සොයන්නෙමි (යි සිතූයෙමි.)

නොයෙක් කුණපයෙන් පිරිණු මේ කුණු කය ඇලීමක් නැත්තේ, වැඩක් නැත්තේ හැරදමා යන්නෙම් නම් යෙහෙක.

භවයෙන් මිදීම පිණිස යම් මගක් වේද, ඒ මග ඇත. නැතිවන්ට බැරිය. (එහෙයින්) ඒ මාර්‍ගය සොයන්නෙමි.

යම්සේ දුකක් ඇතිකල සැපයකුත් ඇතිවෙයි. මෙසේ භවය ඇති කළ භවයෙන් මිදීමකුත් කැමතිවිය යුතුය.

යම්සේ උණක් ඇති කළ (එයින්) අන්‍ය සීතලක්ද ඇතිවෙයි. මෙසේ (රාග - ද්වේෂ - මොහ යන) තුන් ගින්න ඇති කල නිවණත් කැමති විය යුතුය.

යම්සේ අකුසල් ඇතිකල කුසලයකුත් ඇතිවෙයි. මෙසේම ඉපදීම ඇතිකල නොඉපදීමයි කියන ලද නිවණකුත් කැමති විය යුතුය.

යම්සේ වැසිකිළි වළක වැටුණු මිනිසෙක් දිය පිරුණු විලක් දැක ඒ විල නොසොයා නම් එය විලේ දොසක් නොවේ.

මෙසේ කෙලෙස් කිලුටු සෝදා දමන නිවන් නමැති දිය විලක් ඇති කල්හි ඒ විල නොසොයා නම් එය නිවන් නමැති විලේ දොසක් නොවේ.

යම්සේ සතුරන් විසින් වට කරණ ලද මිනිසෙක් පලා යා හැකි මගක් ඇති කල පලා නොයේ නම් එය මගේ දොසක් නොවේ.

මෙසේ කෙලෙස්වලින් වලකන ලද්දේ, නිවන් මග ඇති කල ඒ මග නොසොයා නම්, එය නිවන් මග දොසක් නොවේ.

යම්සේත් ලෙඩවූ මිනිසෙක් වෙදෙකු ඇතිකල ඒ ලෙඩට වෙදකම් නොකරවා නම් එය වෙදාගේ දොසක් නොවේ.

මෙසේ කෙලෙස් නමැති ලෙඩින් උපන් දුක් ඇත්තේ, නිතර පෙළෙන ලද්දේ, ඇදුරකු නොසොයා නම් ඒ දෝසය සත්ත්‍වයන් හික්මවන (මොක් මග) ඇදුරන්ගේ නොවේ.

යම්සේ සැප ඇති, කැමතිසේ හැසිරෙන, තමහට වසඟවූ මිනිසෙක්, බෙල්ලෙහි බඳින ලද කුණපයක් පිළිකුල් කොට මුදාහැර යන්නේද,

එසේම නොයෙක් කුණු රැස්වූ මේ කුණු කය බලාපොරොත්තුවක් නැත්තේ, ප්‍රයෝජනයක් නැත්තේ හැර දමා යන්නෙමි.

යම්සේ මල පහ කරන තැන පුරුෂ ස්ත්‍රීහු මල බලාපොරොත්තු නැත්තෝ, හැර දමා යෙත්ද,

එසේම මම නොයෙක් කුණපයෙන් පිරුණු මේ කය මල පහකොට වැසිකිළියක් මෙන් හැරදමා යන්නෙමි.

යම්සේ නැව් හිමියෝ අරුණවූ සිඳී බිඳී ගිය දිය උනන්නාවූ නැවක් ගැණ බලාපොරොත්තු නැත්තාහු, වැඩ නැත්තාහු, හැරදමා යෙද්ද,

එපරිද්දෙන්ම මම ඇස් කන් ආදී සිදුරු නවයක් ඇති, නිතර මල වැගිරෙන, මේ කය, නැව් හිමියෝ දිරූ නැවක් මෙන් හැර දමා යන්නෙමි.

යම්සේ මිනිසෙක් (රන් රුවන් ආදී) බඩුවක් හැරගෙන සොරුන් සමග යන්නේ, බඩු පැහැරගෙන යන බිය දැක ඒ සොරුට හැරදමා යයිද,

එපරිද්දෙන්ම මේ කය මහ සොරෙකු හා සමානය. මේ කය කුසල් නමැති රුවන් පැහැරගනීය යන බියෙන් හැර දමා යන්නෙමි.

මම මෙසේ සිතා නොයෙක් කෝටි ගණන් ධනය නාථයන්ට හා අනාථයන්ට දන්දී හිමාල වනයට පැමිණියෙමි.

හිමාල වනය සමීපයෙහි ’’ධම්මක’’ නම් පර්‍වතයෙකි. එහි මට අසපුවක් හොඳින් කරන ලදී. පන්සලක් හොඳින් මවන ලදී.

ඒ අසපු පෙදෙසෙහි (සක්මන්) දොස් පසකින් තොරවූ සක්මනක් කෙළේය. (පැවිදි) සැප අටකින් යුත් අභිඤ්ඤා බලය ඇතිකර ගතිමි.

එහිදී නව දොසකින් යුත් රෙදි අත්හළෙමි. දොළොස් ගුණයකින් යත් වැහැරි සිවුරු හැන්දෙමි.

අට දොසකින් යුත් පන්සල අත්හළෙමි. ගුණ දසයකින් යුත් රුක්මුල වෙත පැමිණියෙමි.

වපුරණ ලද්ද වුවද, සිටුවන ලද්ද වුවද, ධාන්‍ය (ඇට ජාති) සම්පූර්‍ණයෙන් අත්හළෙමි. නොයෙක් ගුණයෙන් යුත් ඉබේ නටුයෙන් ගැලවී බිම වැටුණු ගෙඩි වැළඳුයෙමි.

එහි හිඳීමෙහිදී, සිටීමෙහිදී, සක්මන්හිදී වීර්‍ය්‍ය කෙළෙමි. සත් දිනක් ඇතුළතදී අභිඤ්ඤා බලයට පැමිණියෙමි.

මෙසේ තවුස් සස්නෙහි වසී (පුරුදු)වූ මා පඤ්ච අභිඤ්ඤාවන්ගේ ප්‍රයෝජනය ලැබීමේ තත්ත්‍වයට පැමිණ සිටි කල්හි දීපංකර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ලෝකයෙහි උපන් සේක.

(උන්වහන්සේ) පිළිසිඳගැනීමෙහිද, මව් කුසින් බිහිවන කල්හිද, බුදුවීමෙහිද, දම්සක් පැවැත්වීමෙහිද (ඇතිවූ) සතර පෙර නිමිති, ධ්‍යාන සැපයෙන් යුත්වූයේ, මම නොදුටුයෙමි.

පසල් දනව්වෙක ජනයෝ (ඒ දීපඞ්කර) තථාගතයන් වහන්සේට ආරාධනාකොට උන්වහන්සේ විසින් වැඩියයුතුවූ මාර්‍ගය සතුටු සිත් ඇත්තාහු සුද්ද කරත්.

මම ඒ කාලයෙහි සිය අසපුවෙන් නික්ම, වැහැරි වත් සලමින් එවේලෙහි අහසෙහි යෙමි.

හටගත් සොම්නස් ඇති, තුටුපහටුවූ මහත් සතුටු ඇති ජනයා දැක, එකෙණෙහි ගුවනින් බැස මිනිසුන්ගෙන් විචාළේය.

තුටුපහටුවූ මහත් සතුට ඇති, හටගත් සොම්නස් ඇති මහජනතෙම (මග සුද්ද කරයි.) ’’අඤ්ජස - වටුම - අයන යන නම් ඇති (මේ) මග (ඔබ විසින්) කවරකු පිළිබඳව සුද්ද කරණු ලැබේද?’’

එසේ මා විසින් විචාරණ ලද මිනිස්සු ’’උතුම්වූ පස්මරුන් දිනූ ලෝහිමිවූ බුදු රජහු ලෝකයෙහි උපන් සේක. උන්වහන්සේට (වැඩවීම පිණිස) අඤ්ජස - වටුම - අයන යන නම් ඇති මග සුද්ද කරනු ලැබේ’’ යයි පැවසූහ.

එකෙණෙහි ’’බුද්‍ධ’’ යන වචනය අසා මට ප්‍රීතිය උපනි. ’’බුද්‍ධ, බුද්‍ධ’’ යයි කියමින් සොම්නස වින්දෙමි.

එතැන සිට සතුටුවූයේ, විස්මයට පත් සිත් ඇත්තේ, (මෙසේ) සිතුයෙමි. මෙහි කුශල බීජයන් රෝපණය කරන්නෙමි. කාලය ඉක්ම නොයේවා.

ඉදින් බුදුරදුන් පිළිබඳව (මග) සුද්ද කරව් නම් මට එක් කොටසක් දෙව්. වල ගොඩ ඇති මග මමත් සුද්ද කරන්නෙමි.

ඒ කාලයේ ඔවුහු මට මාර්‍ගයේ කොටසක් සුද්ද කරන්නට දුන්හ. මම එකල්හි ’’බුද්‍ධ, බුද්‍ධ’’ යයි සිතමින් මග සුද්ද කරමි.

මාගේ මග පෙදෙස (සාදා) නොනිමි කල්හිම කෙලෙස් පැරදවූ, දිවකුරු මුනිඳු, ෂඩ් අභිඥාලාභීවූ, තාදී ගුණ ඇති, කෙලෙස් කිලිටු නැති, සාර ලක්‍ෂයක් රහතුන් සමග මගට පිළිපන් සේක.

සතුටු සිත් ඇති දෙවි මිනිස්සු පෙර ගමන් පවත්වත්. බොහෝ බෙර වයත්. සාදුකාර පවත්වත්.

දෙවියෝ මිනිසුන් දකිත්. මිනිස්සුත් දෙවියන් (දකිත්.) ඒ දෙව් මිනිස්සුද වැඳගෙන තථාගතයන් වහන්සේ පසුපස්සේ යෙත්.

දෙවියෝ දෙවියන්ගේ තූර්‍ය්‍යයන්ද, මිනිස්සු මිනිසුන්ගේ තූර්‍ය්‍යයන්ද වයමින් ඒ දෙව් මිනිස්සු තථාගතයන් වහන්සේ පසු පස්සේ යෙත්.

දෙව්ලොව මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද, අහසට පැමිණි දෙවියෝ දිසාවෙක් දිසාවෙක්හි වගුරුවත්.

සපු මල්ද, හෝපලු මල්ද, බක්මී මල්ද, නා මල්ද, දොඹ මල්ද, වැටකේ මල්ද බිම සිටි මිනිස්සු දිසාවෙක් දිසාවෙක්හි විසුරුවත්.

’’මම ඒ මඩෙහි හිසකෙස් මුදා, වැහැරි සිවුරද, සම්කඩද අතුරා මුහුණින් දිග ඇදී ගත්තෙමි.

’’බුදුරදහු මා පාගාගෙන සිසු සව්වන් සහිතව යේවා. මඩ නොපාගාවා. (ඒ මඩ නොපෑගීම) මට හිත පිණිස වන්නේය.’’

’’පොළොවෙහි හොත්තාවූ මාගේ සිතට මෙබඳු සිතිවිල්ලක් ඇතිවී. මම කැමති නම් අද මාගේ රාගාදී කෙලෙස් වවන්නෙමි.

’’මෙහිදී අප්‍රසිද්‍ධ වේශයෙන් සිව්සස් අවබෝධ කිරීමෙන් මට කවර වැඩක්ද? සර්‍වඥබවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදුවන්නෙමි’’ (කියායි.)

’’(තමාගේ) බලය දන්න මිනිසෙක්වූ මාගේ තනිව සසරින් එතරවී යාමෙන් කවර ප්‍රයෝජනයක්ද? සර්‍වඥබවට පැමිණ දෙවියන් සහිත ලෝවැස්සන් සසරින් එතර කරන්නෙමි.

මිනිසුන්ට උතුම්වූ දිවකුරු මුනිඳුන් කෙරෙහි කළ මගේ මේ වටිනා වැඩෙන් සර්‍වඥ බවට පැමිණ බොහෝ ජන සමූහයා සසරින් ගොඩලමි.

’’සසර ඉපදීමට කරුණුවූ තෘෂ්ණා නමැති සැඩ පහර සිඳ, තුන් භවයෙහි උපදනා කම් කෙලෙස් නසා, දහම් නමැති නැවට නැගී දෙවියන් සහිත ලෝ වැස්සන් සසරින් එතර කරන්නෙමි.

’’මිනිසත්බව, පිරිමියෙකුවීම, පින් ඇති බව, ශාස්තෲන් වහන්සේ දැකීම, පැවිද්ද, අභිඥා ගුණයෙන් යුක්තවීම, ජීවිත පරිත්‍යාගය, බලවත් උත්සාහය යන කරුණු අට එක්වීමෙන් බුදුබව පැතීම සිදුවේ.’’

දන් පිළිගැනීමට සුදුසු දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මාගේ හිස මත්තෙහි වැඩ සිට මේ මතු කියන වචනය වදාළ සේක.

’’ජටාධරවූ, උසස් තපස් ඇති මේ තාපසයා බලව්. මෙකපින් අපමණ කල්පයෙක මෙතෙම ලෝකයෙහි බුදුවන්නේය.

’’ඒ ගෞතම තථාගතතෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යයද කොට දුෂ්කර ක්‍රියාවද කොට,

’’තථාගතතෙම අජපල් නුගරුක් මුල හිඳ එහිදී කිරිබත පිලිගෙන නෙරංජරා ගංගාව ස්වමීපයට එළඹෙයි.

’’නැවත ජිනරාජතෙම නේරංජරා ගංතෙරදී කිරිබත වළඳා දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් ඇසතු බෝමුල කරා එළඹෙයි.

’’මහා යසස් ඇති ගෞතම නරශ්‍රේෂ්ඨතෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කරන්නේය.

’’මුන්වහන්සේගේ වදන මව මායා නම් වන්නීය. පියතෙම සුදොවුන් නම් රජ වන්නේය. මෙතෙම ගෞතම නම් වන්නේය.

’’කාමාදී ආසව නැති, රාගාදී කෙලෙස් නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති ’කොලිත’ ද, ’උපතිස්ස’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ගෞතමයන්ට උපස්ථාන කරන්නේය.

’’කාමාදී ආසව නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති ’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණ’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතු රුකයයි කියනු ලැබේ.

’’චිත්ත’’ ද, ’’හත්‍ථාලවක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වන්නාහ. යසස් ඇති ඒ ගෞතම භාග්‍යවත්හුගේ ආයුෂය සියයකි.’’

’’අසමවූ, මහර්ෂීවූ දිවකුරු බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙව් මිනිස්සු මේ බුදු පැලයෙකැ (බුදුබව පතන බෝසතෙකැ) යි

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ ඔල්වර හඬ පවත්වත්. අත් පොළසන් දෙත්. සතුටෙන් සිනහසෙත්. වැඳගෙන නමස්කාර කරත්.

ඉදින් මෙලෝහිමියාණන්ගේ සස්න හෙවත් අරි අටඟි මග වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ මිනිස්සු ඉදිරි තොට වැරදී ගියහොත්, යටි තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එමෙන්ම අපි හැමදෙනම මේ දිනිඳු නමුත් ඉදින් මුදමුනම් අනාගත කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.’’

දන් පිළිගැනීමට සුදුසු දිවකුරු සම්බුදුරජහු මාගේ ක්‍රියාව ගැන විස්තරය ප්‍රකාශකොට ගමනට දකුණු පය ඉදිරීය.

ඒ සමාගමයෙහි යම් ජිනපුත් කෙනෙක් (හෙවත්) බුදු සව් කෙනෙක් වූහුද, ඔවුහු මා පැදකුණු කළහ. දෙවියෝද, මිනිස්සුද, අසුරයෝද අභිවාදනයකොට වැඳ, ගියහ.

මාගේ දැකීම සඟුන් සහිත ලෝහිමියන් ඉක්ම ගිය කල්හි මඩෙහි මුහුණින් හොත් තැනින් නැගිට මල් රාශිය මතුපිට අරමිනිය ගොතා හුන්නෙමි.

එකල්හි කය, සිත සුවයෙන් සැප ඇත්තෙක් වෙමි. සාමාන්‍ය සතුටෙන් සතුටු සිත් ඇත්තෙක් වෙමි. බලවත් ප්‍රීතියෙන් පිනා ගියේ, පළඟක් බැන්දෙමි, හෙවත් අරමිණිය ගොතා හුන්නෙමි.

මම එකල්හි පළඟින් හිඳ මෙසේ සිතුයෙමි. ’’මම ධ්‍යානයෙහි පුරුදුවූයෙමි. පඤ්චාභිඥාවන්හි පරතෙරට ගියෙමි.

’’දසදහසක් සක්වළෙහි මා හා සම තාපස කෙනෙක් නැත. ඎද්‍ධි ධර්‍මයෙහි අසමවූ මම මෙබඳු කය, සිත සැපයක් ලැබූයෙමි.’’

’’මාගේ පළඟ බැඳීමෙහි දස දහසක් සක්වළ දෙවියෝ ’’ඒකාන්තයෙන් බුදුවන්නෙහිය’’ යි මහ හඬක් පැවැත්වූහ.

’’පෙර බෝසතුන්ගේ පළඟ බැඳීමෙහිදී යම් නිමිති කෙනක් දක්නා ලැබුණහුද, ඒ නිමිති අද දක්නා ලැබෙත්.

’’සීතල පහවූයේ වෙයි. උණුසුමද සන්සිඳෙයි. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’දස දහසක් සක්වළවල් නිශ්ශබ්ද වෙත්. නිරවුල් වෙත්. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’මහා වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’ගොඩ හටගන්නාවූද, දියෙහි හටගන්නාවූද, හැම මල් එකවිට පිපෙත්ද, ඒ හැම මලුත් අද පිපුනාහුය. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’වැල්ද, ඉදින් ගස්ද එකවිට ගෙඩි බරවූවාහු වෙත්ද, ඒ හැම ගස් වැල් අද පල ගත්හ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’අහස පිපියාවූද, බිම පිපියාවූද රත්නයෝ එකවිට බබළත්ද, ඒ රත්න ජාතීහුද අද බබලත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’මිනිසුන් පිළිබඳවූද, දෙවියන් පිළිබඳවූද වාද්‍ය භාණ්ඩ එකවිට වාදනය කෙරෙත්ද, ඒ දෙවි මිනිස් දෙවග ගී භාණ්ඩ අදත් නාද පවත්වත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’අහසින් විසිතුරු නොයෙක් සුවඳ මල් එකවිට වසිත්ද, ඒ වැසිත් අද වසිත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’මහ මුහුද හැකිලේද, දස දහසක් සක්වළ කම්පා වේද, ඒ දෙදෙනත් අද නාද කරත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’දස දහසක් චක්‍රවාටයන්හි නිරයවල එකවිට ගිනි නිවෙත්ද, ඒ ගිනිත් අද නිවුණහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’හිරු නිර්‍මල වේද, සියලු තරු දක්නා ලැබෙද්ද, ඔහුත් අද දකිනු ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’වැස්සෙන් ඇති නොවූ ජලය පොළොවෙන් නැගූ අද ඒ ජලයද පොළොවෙන් නැගෙයි. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’වෙසක් සඳින් යුත් නැකැත් තරු හා කුඩා තරු ගුවන් මඬලෙහි බබළත්ද, ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’බිම් සිදුරුවල හෝනා නයි, මුගටි ආදී සත්තුද, ගල් ගුහා ආදියෙහි හෝනා සිංහ, කොටි ආදී සත්තුද, තම තමන් වසන ගුහාවලින් නික්මෙත්ද, ඔවුහුද අද ගුහාවලින් නික්මුණාහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’එකෙණෙහි සත්ත්‍වයන්ට නොඇල්මෙක් නොවේද, සතුටු සිත් ඇත්තන් වෙද්ද, අද ඔවුහු සියල්ලෝම සතුටු සිත් ඇත්තාහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’ඒ කාලයෙහි රෝගයෝ සංසිඳෙත්ද, බඩගින්න වැනසේද, අද ඔවුහු දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’ඒ කාලයෙහි පස්කම් සැපෙහි ඇල්ම නැතිවේද, ද්වේෂයද, මෝහයද වැනසේද, අද ඒ සියල්ලෝ පහවූහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’ඒ කාලයෙහි බියවීමක් නොවේද, අදත් එය දක්නා ලැබේ. ඒ කරුණෙන් ඒකාන්තයෙන් ඔබ බුදු වන්නෙහියයි දනිමු.

’’රජස් (දූලී) උඩට නොනගීද, අදත් එය දක්නා ලැබේ. ඒ කරුණෙන් ඔබ බුදුවන්නෙහියයි දනිමු.

’’අනිටු ගඳ (දුගඳ) පහවේද, දෙව්ගඳ (සුවඳ) හමාද, අද ඒ සුවඳද හමයි. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’අරූතල වැසි දෙවියන් හැර සියලු දෙවියෝ දක්නා ලැබෙත්ද, ඔහු හැමත් අද දකිනු ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’යම්තාක් නරකයෝ වෙත්නම්, එකවිට ඒ සියල්ලෝ දක්නා ලැබෙත්ද, ඒ හැමත් අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’ඒ කාලයෙහි බිත්තිද, කවුළුද, පර්‍වතද ආවරණ නොවූවාහු වෙත්ද, ඔහුත් අනාවරණ වූහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’එකෙණෙහි මරණයක්ද, ඉපදීමක්ද නැත. අදත් ඔවුහු දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’වීර්‍ය්‍යය දැඩිකොට තදින් ගණුව. නොනවතුව. ඉදිරියට යව නොහොත් නොපසුබසුව. අපිදු මෙය දනිමු. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.

’’දිවකුරු බුදුරදුන්ගේද, දස දහසක් සක්වළ වැසි දෙවි මිනිසුන්ගේද යන දෙපසේ වචන අසා එවේලෙහි තුටු පහටුවූ බලවත් සතුටු සිත් ඇති මම මෙසේ සිතුයෙමි.

’’බුදුවරයෝ සැබෑය, බොරුය යන දෙපරිද්දෙකින් පවත්නා වචන නැති හෙයින් නොවෙනස් වචන ඇත්තාහ. පස්මරුන් දිනුවෝ, නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.

’’යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටක් ඒකාන්තයෙන් බිම වැටේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්යෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

’’යම්සේ සියලු සත්ත්‍වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

’’යම්සේ රාත්‍රිය අවසන්වූ කල්හි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

’’යම්සේ ලැග්ග තැනින් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

’’යම්සේ ගර්භනීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

එහෙයින් බුදුබව සිදුකරණ ධර්‍මයන් උඩ (දෙව්ලොවෙහි), යට (මිනිස් ලොවෙහි)ද, දස දිග්හිද, යම්තාක් ධර්‍ම ධාතුවෙහිද ඔබ මොබ සොයයි.

එකල්හි බුදුබව සිදුකරණ ධර්‍ම සොයන්නේ, ඉකුත්වූ (පෙර ඇතිවූ) මහර්ෂීවූ බුදුවරයන් විසින් රැස්කරණ ලද සිව්සස් අවබෝධයට මාවතවූ පළමුවන දාන පාරමිතාව දුටුයෙමි.

’’ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් ’’මේ දාන පාරමිතාව’’ පළමුවෙන් දැඩිකොට සමාදන්ව දාන පාරමිතාවට පැමිණෙව.

යම්සේ දිය පිරුණු කළයක් යමෙකු විසින් මුහුණින් නමන ලද්දේ දිය ඉතුරු නොකොට වගුරුවයිද, ඒ කලයෙහි දිය නොරැකේද, (ඉතිරි නොවේද)

එසේම පහත්, උසස්, මැදුම් යාචකයන් දැක මුහුණින් නැමූ දිය කලයක් මෙන් ඉතිරි නොකොට දන් දෙව්.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද දෙවෙනි ’’සීල පාරමිතාව’’ දුටුවෙමි.

’’ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් දෙවැනිව සීල පාරමිතාවට පැමිණෙව.’’

යම්සේ සෙමර මුව තෙම කටු ආදී කිසිවෙක්හි වලිගය පැටලුණේ, එහි මැරීමට පැමිණේද, වලිගය නොනසාද,

එපරිද්දෙන්ම යාම්, ඊම්, ඉඳීම්, සිටීම් යන සතර තන්හි නොහොත් පාතිමොක්ඛ, ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්‍ධි, පච්චය සන්නිස්සිත යන සිව් බිමෙහි සිල් පුරව. සෙමෙර මුව තෙම වලිගය රක්නෙක් මෙන් හැමකල්හි සිල් රකුව.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද තුන්වෙනි ’’නෙක්ඛම්ම පාරමිතාව’’ දුටුයෙමි.

ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමති වන්නෙහි නම් තුන්වැනිව මේ ’’නෙක්ඛම්ම පාරමිතාව’’ දැඩිකොට සමාදන්ව නෙක්ඛම්ම පාරමිතාවට පැමිණෙව.

යම්සේ සිරගෙයි බොහෝ කලක් විසූ, දුකින් පෙළුණු මිනිසෙක් එහි ඇලීමක් නූපදවාද, මිදීමට සොයාද,

එසේම ඔබ සියලු භවයන් සිරගෙවල් මෙන් බලව. භවයෙන් මිදීම පිණිස නෙක්ඛම්මය (කෙලෙසුන්ගෙන් නික්මීම) ඉදිරිපත් කර ගනුව.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සිව්වැනි ’’පඤ්ඤා පාරමිතාව’’ දුටුයෙමි.

ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමතිවන්නෙහි නම් සිව්වැනි මේ ’’පඤ්ඤා පාරමිතාව’’ දැඩිකොට සමාදන්ව පඤ්ඤා පාරමිතාවට පැමිණෙව.

යම්සේ මහණ තෙම පහත්, උසස්, මැදුම් කුලයන් නොහරිමින් පිඬු සිඟන්නේ, මෙසේ ආහාර ලබයිද,

එසේම ඔබ සියලු කල්හි නුවණැති ජනයා වෙත පැමිණ, කුසල් කිම? අකුසල් කිම? කටයුතු කිම? නොකටයුතු කිම? යනාදී වශයෙන් පිළිවිසිමින් පඤ්ඤා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද පස්වැනි විරිය පාරමිතාව දුටුයෙමි.

ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් පස්වැනිව මේ විරිය පාරමිතාව දැඩිකොට සමාදන්ව, විරිය පාරමිතාවට පැමිණෙව.

යම්සේ සිව්පාවුන්ට රජවූ සිංහ තෙම හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් යන තුන් ඉරියව්වෙහි නොපසුබට වීර්‍ය්‍ය ඇත්තේ වේද, හැම කල්හි නගා සිටුවන ලද සිත් ඇත්තේ වේද,

එපරිද්දෙන් ඔබ සියලු භවයෙහි වීර්‍ය්‍යය දැඩිකොට තදින් ගනුව. විරිය පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සයවැනි ඛන්ති පාරමිතාව දුටුයෙමි.

ඔබ මේ ඛන්ති පාරමිතාව සවැනිව දැඩිකොට සමාදන්ව එහි දෙපරිද්දෙකින් පැවති සිත් නැත්තේ බුදුබවට පැමිණෙන්නෙහිය.

යම්සේ පොළොව නම් දමන ලද (සුවඳ සඳුන් මල් ආදීවු) යහපත් දෙයද, අයහපත් දෙයද යන සියල්ල ඉවසයිද, කෝපයක්ද, දයාවක්ද ඇති නොකරයිද,

ආකාරයෙන්ම ඔබත් සියල්ලන්ගේ ආදර, අනාදර ඉවසන්නේ, ඛන්ති පාරමිතාවට පැමිණ බුදුබවට පැමිණෙන්නෙහිය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සත්වැනි ’’සච්ච පාරමිතාව’’ දුටුයෙමි.

ඔබ මේ ’’සච්ච පාරමිතාව’’ සත්වැනිව දැඩිකොට සමාදන්ව එහි දෙයාකාර වචන නැත්තේ (සත්‍ය වචන) ඇත්තේ, බුදු බවට පැමිණෙන්නෙහිය.

යම්සේ ඔසධි තාරකාව දෙවියන් සහිත ලෝකයාට තරාදියක් සේ වූවා, වැසි කාලයෙහිද, සිසිල් කාලයෙහි හා ගිමන් කාලයෙහිද, තමාගේ ගමන් වීථියෙන් බැහැර නොයේද,

එපරිද්දෙන් ඔබද සැබෑ වචන කීමේ මගින් මඳක්වත් ඉක්ම නොයව. මෙසේ සච්ච පාරමිතාවට පැමිණ බුදුබවට පැමිණෙන්නේය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද අටවෙනි ’’අධිට්ඨාන පාරමිතාව’’ දුටුවෙමි.

ඔබ මේ අධිට්ඨාන පාරමිතාව දැඩිකොට සමාදන්ව ඔබ ඒ අධිට්ඨාන පාරමිතාවෙහි නොසෙල්වී බුදුබවට පැමිණෙන්නෙහිය.

යම්සේ ගල් පර්‍වතයක් නොසෙල්වී හොඳින් පිහිටියේ සැඩසුලඟින් නොසැලේද, පිහිටි තැනම සිටීද,

එපරිද්දෙන්ම ඔබත් ඉටාගැනීමෙහි සියලු කල්හි නොසෙල්වෙව. ’’අධිට්ඨාන පාරමිතා’’වට පැමිණ බුදුබවට පැමිණෙන්නෙහිය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද නවවැනි මෙත්තා පාරමිතාව දුටුවෙමි.

ඉදින් බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් ඔබ මේ ’’මෙත්තා පාරමිතාව’’ නවවැනිව දැඩිකොට සමාදන්ව මෛත්‍රියෙන් අසමානයෙක් වෙව.

යම්සේ ජලය නම් යහපත්වූද, පවිටුවූ ජනයා කෙරෙන් සිසිල් ගුණයෙන් එකාකාරව පැතිරේද, දූලි, ඩහදිය ආදී කිලුටු දුරුකෙරේද,

එසේම ඔබද සතුරන් කෙරෙහි හා මිතුරන් කෙරෙහි සමව මෙත් වඩව. මෙත්තා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.

මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.

එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද දසවැනිවූ ’’උපෙක්ඛා පාරමිතාව’’ දුටුයෙමි.

ඔබ මේ ’’උපෙක්ඛා පාරමිතාව’’ දසවැනිකොට දැඩිකොට සමාදන්ව තරාදියක් මෙන් මැදහත්වූයේ, දැඩි සිත් ඇතිව බුදුබවට පැමිණෙන්නෙහිය.

යම්සේ පොළොව නම් දමන ලද හොඳ දෙය හා නරක දෙයද යන මේ දෙක ගැන කෝපය, ආලය යන දෙකින් තොරවූයේ මැදහත් වේද,

එපරිද්දෙන්ම ඔබත් සුව දුක් දෙක්හි හැමකල්හි තරාදියක් වූයේ හෙවත් මධ්‍යස්තවූයේ වෙව. උපෙක්ඛා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.

ලෝකයෙහි බුදුබව මෝරවන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ මෙපමණය. ඒ දස පාරමිතාවන්ගෙන් බැහැර තවත් වැඩියයුතු අනික් ධර්‍ම කෙනෙක් නැත. එහි තරකොට පිහිටුව.

ස්වභාව සංඛ්‍යාත රස ලක්‍ෂණ සහිතව මේ දස පැරුම් දම් සලකා බලන්නාවූ බෝසත්හුගේ පාරමී ධර්‍ම තෙජසින් දස දහසක් සක්වලෙහි පොළොව කම්පාවිය.

පොළොව උක් මිරිකන යන්ත්‍රයක් මෙන් නාද කරයි. තෙල් යන්ත්‍රයක රෝදය යම්සේද, එසේ මහපොළොව සැළෙයි. කම්පාවෙයි.

දිවකුරු බුදුරදුන් වළඳවන තන්හි යම් පමණ පිරිස වූවාද, ඒ පිරිස වෙව්ලමින් මුසපත්වූවා, එහි බිම දිග ඇද වැටුනාය.

නොයෙක් දහස් ගණන් කළද, බොහෝ සිය ගණන් මහ සැළිද ඔවුනොවුන් එකට ගැටී කුඩුවී, මිරිකී ගියහ.

සැළෙන හදවත ඇති, තැතිගත්, බියවූ, එක තැනක නැවතීමක් නැති, පෙළුන සිත් ඇති මහජනයෝ එක්ව දිවකුරු බුදුන් වෙත එළඹියහ.

ලොවට කිම? යහපතක් හෝ අයහපතක් වන්නේද? සියලු ලෝ වැසිතෙම පෙළුනේය. පසැස් ඇති හිමි සඳුනි, ඒ සංසිඳවනු මැන.

එකල්හි දිවකුරු මුනිසඳු ඔවුන්ට, ’’මේ පොළොව කම්පාවීමෙහි නිදහස් සිත් ඇත්තෝ වව්. බිය නොවව්’’ යයි හැඟවී.

’’මම අද යමෙකු ලෝකයෙහි බුදුවන්නේයයි ප්‍රකාශ කෙළෙම්ද, එතෙම පෙර ඇතිවූ බුදුවරයන් විසින් සෙව්නා ලද පෙරුම්දම් සිතීම් සලකා බලයි.

’’බුදුබව ලැබීමට තැන (පිහිට) වූ පෙරුම්දම් ඉතිරි නොකොට ඔහු සිතා සලකා බලන කල්හි, ඒ කරණ කොට ගෙණ දෙවියන් සහිත දස දහසක් සක්වලෙහි මේ පොළොව කම්පාවූවාය.’’

එකෙණෙහි දිවකුරු බුදුරදුන්ගේ වචනය අසා ඔවුන්ගේ සිත නිවිණි. සියලුදෙනාම මා කරා පැමිණ නැවතත් මා වැන්දාහ.

එකල්හි සිත තරකොටගෙන බුදුබව සිදුකරණ ධර්‍මයන් සමාදන්ව, දිවකුරු බුදුරදුන්ට නමස්කාර කොට හුන් තැනින් නැගී සිටියෙමි.

හුන් තැනින් නැගිටින කල්හි දෙවියෝද, මිනිස්සුද යන දෙපස දෙව්ලොව හටගත්තාවූද, මිනිස් ලොව හටගත්තාවූද මල් ගෙන මලින් වගුරුවත්.

දෙවියෝද, මිනිස්සුද යන දෙපිරිස සැප ඇති බව හඟවත්. ඔබ විසින් මහ තනතුරක් පතන ලද්දේය. එය කැමති සේ ලබව.

සියලු පීඩාවෝ දුරු කෙරෙත්වා. සෝක, රෝග වැනසේවා. ඔබට අනතුරක් නොවේවා. උතුම් බුදුබව වහා ලබාගනු මැන.

යම්සේ සුදුසු කාලය පැමිණි කල්හි මල් හටගන්නාවූ ගස්වල මල් පිපෙත්ද, මහා වීරය, එසේම ඔබ අටළොස් බුදු නැණින් පුබුදුවෙව.

යම්සේ යම්කිසි බදුවර කෙනෙක් දස පෙරුම් පිරුවාහුද, මහා වීරය, එසේම ඔබද දස පෙරුම් පුරව.

යම්සේ යම්කිසි බුදුවර කෙනෙක් බෝමැඩදී සිව්සස් අවබෝධ කළාහුද, මහා වීරය, එසේම ඔබද ජිනබෝධිය අවබෝධ කරණු මැනව.

යම්සේ යම්කිසි බුදුවර කෙනෙක් දම්සක් පැවැත්වූවාහුද, එසේම ඔබද දම්සක් පවත්වව.

යම්සේ පුණු පොහොයෙහි සඳ පිරිසිදුව බබලාද, එසේම ඔබ පිරුණු සිත් ඇතිව දස දහසක් සක්වලෙහි බබලව.

යම්සේ රාහුගෙන් මිදුණු හිරු සිය රැසින් ඉතා බබලාද, එසේම ඔබ ලෝකයෙන් මිදී, බුදුසිරින් වෙසෙසා බබලව.

යම්සේ යම්කිසි ගංගාවෝ මුහුද කරා ගලා බසිත්ද, එසේ දෙවියන් සහිත ලෝ වැස්සෝ ඔබ වෙතට එත්වා.

එකල්හි දෙවි මිනිසුන් විසින් පසස්නා ලද ඒ සුමෙධ තවුස්තෙම දස පෙරුම් දම් සමාදන්ව, ඒ දස පෙරුම් දම් පුරමින් වනයට ගියේය.

සුමෙධ කථාව නිමි.