ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

3. දීපඞ්කර බුද්‍ධ වංශය

එකල්හි ඒ රම්ම නගරවාසීහු සඞ්ඝයා සහිත ලෝනා හිමිඳුන් වළඳවා ඒ දීපඞ්කර ශාස්තෲන් වහන්සේගේ සරණ ගියහ.

තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙහිද, කිසිවකු පන්සිල්හිද, අනිකකු දස සිල්හිද යෙදවී.

ඒ දිවකුරු මුනිඳු තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යයයි කියන ලද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය දෙයි. (කිසිවෙකුහට) අසම දහම්වූ සිවු පිළිසිඹියාවන් දෙයි.

නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි. කිසිවකුහට ත්‍රිවිද්‍යාවන්ද, ෂට් අභිඥාවන්ද දෙයි.

මහමුනිදු තෙම ඒ ක්‍රමයෙන් ජන සමූහයාට අවවාද කරයි. එහෙයින් ලෝනා දිවකුරු මුනිඳුන්ගේ සස්න පැතිරවී.

පිරුණු කොපුල් ඇති ගව රජෙකුගේ කඳට බඳු කඳක් ඇති දීපඞ්කර නම් බුදුරජහු බොහෝ දෙනා සසරින් එතර කරයි. දුගතියෙන් මුදවයි.

මහමුනිඳු සිව්සස් අවබෝධ කළහැකි ජනයා දැක සිය දහස් ගණන්ද, යොදුන් ඇසිල්ලකින් ගොස් ඔහුට සිව්සස් අවබෝධ කරවයි.

ලෝනාහිමිවූ බුදුරජතෙම පළමුවර ධර්‍මාවබොධයේදී කෝටි සීයක් මහජනයාට සිව්සස් අවබෝධ කළ සේක. දෙවන වර ධර්‍මාවබෝධයේදී අනූකෝටියක් දෙනාට සිවුසස් අවබෝධ කළ සේක.

යම් කලෙක්හි බුදුරජතෙම දෙව් විමනෙහිදී දහම් දෙසූ සේක්ද, (එකල) කෝටි අනූ දහසක් දෙනාට තුන්වන වර ධර්‍මාවබෝධය වී.

දීපඞ්කර ශාස්තෲන් වහන්සේට (භික්‍ෂූන් පිළිබඳ) රැස්වීම් තුණක් වූහ. කොටි ලක්‍ෂයක් දෙනෙකුගෙන් පළමුවන රැස්වීම වී.

නැවත නාරද පර්‍වතයට ජිනෙන්‍ද්‍රයන් වහන්සේ විවේකය පිණිස වැඩිය කල්හි රාගාදී කෙළෙස් කිලිටු නැතිකළ රහතුන් වහන්සේලා සියක් කෝටියක් පමණ රැස්වූහ.

මහා වීර්‍ය්‍ය ඇති (දීපඞ්කර) මහා මුනිතෙම යම් කලෙක සුදර්‍ශන නම් පර්‍වතයෙහිදී (භික්‍ෂූන්) අනූ කෙළ දහසකින් පිරිවරාද,

[මම ඒ කාලයෙහි කෙලෙස් තවන, අහසෙහි හැසිරෙන සුළු, පඤ්චාභිඤ්ඤාවන්හි පරතෙරට පැමිණි (සුමෙධ නම්) ජටාධරයෙක් (තාපසයෙක්) වීමි.]

එකල දස දහසක්, විසි දහසක් පමණ දෙනාට සිව් සස් අවබෝධය විය. එක් එක් කෙනාට වූ සිව්සස් අවබෝධය ගණන් වශයෙන් ගිනීම කළ නොහැක.

ඒ කාලයෙහි දිවකුරු බුදුන්ගේ ඉතා පිරිසිදු කළ සස්න පැතුරුණේ විය. බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ, දියුණුවූයේ, පිරුණේද විය.

ෂට් අභිඥා ලාභීවූ, මහත් ඎද්‍ධි ඇති, සාර ලක්‍ෂයක් පමණ භික්‍ෂූහු හැම කළ දිවකුරු බුදුරදුන් පිරිවරකොට හැසිරෙත්.

ඒ කාලයෙහි සෙඛ නම්වූ රහත්බවට නොපැමිණි යම්කිසි කෙනෙක් මිනිස්බව හරිත්ද, ඔවුහු නින්දා කරණ ලද්දේ වෙත්.

අභිඤ්ඤා කුසුමයෙන් මනාව පිපුණු බුද්‍ධ ශාසනය තාදී ගුණ ඇති ආසවයන් නැති කළ, රාගාදී කිලුටු නැති, රහතුන් වහන්සේලා කරණකොටගෙන සියලු කල්හි බබලයි.

දීපඞ්කර ශාස්තෲන්ගේ නුවර රම්මවතී නම් වී. (පියතෙම) ’’සුදෙව’’ නම් රජය. වැදූ මව් ’’සුමෙධා’’ නම් බිසව වී.

ඒ දිවකුරු මුනිඳු අවුරුදු දසදාහක් ගිහිගෙයි විසී. හංස, කොඤ්ච, මයුර යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තුන් ලක්‍ෂයක් වූහ. ප්‍රසිද්‍ධ දෙටු බිරින්ද ’’පදුමා’’ නම් වූවා. පුත් තෙම ’’උස්හක්ඛඣ’’ නම් වී.

දිවකුරු ජිනරාජ තෙම සතර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේ නොඅඩු දස මසක් මුලුල්ලේ ප්‍රධාන විර්‍ය්‍යය කළ සේක.

මුනිඳු තෙම ප්‍රධාන වීර්‍ය්‍යය කොට රහත් ඵලය අවබෝධ කළ සේක. මහාවීරවූ (ඒ) දිවකුරු මහ මුනිඳු තෙම මහබඹහු විසින් අයදනා ලද්දේ, උතුම් ශෝභාවක් දරන්නාවූ ’’නන්‍දාරාමයෙහිදී’’ දම්සක් පැවැත්වු සේක. මහරි රුක් මුලෙහි වැඩහුන් සේක්, තීර්ත්‍ථකයන් මැඩීම කළ සේක.

දීපඞ්කර ශාස්තෘන් වහන්සේට ’’සුමඞ්ගල’’ ද, ’’තිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවක දෙනමක් වූහ. ’’සාගත’’ නම් උපස්ථායකයෙක් විය.

’’නන්‍දා’’ ද, සුනන්‍දා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’පළොල්’’ ගසයයි කියනු ලැබේ.

ඒ දීපඬ්කර ශාස්තෲන් වහන්සේට ’’තපස්සු’’ ද, ’’භල්ලිකද’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ. ’’සිරිමා’’ ද, ’’සොනා’’ද යන අත්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

දීපඬකර මහමුනිඳු අසූ රියනක් උස ඇත්තේ පහන් රුකක් මෙන්ද, පිපී ගිය සල් රුකක් මෙන්ද හොබී.

ඒ මහාර්ෂිවූ දිවකුරු බුදුරදුන්ට සියක් දහසක් අවුරුදු ආයු ඇත්තේ වී. ඒතාක් කල් වැඩ වසමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.

සදහම් බබුලුවා මහජනයා (සසරින්) එතර කරවා, ගිනි කඳක් මෙන් දිලිහී, සව්වන් සහිතවූ ඒ දිවකුරු මුනිසඳු පිරිනිවි සේක.

ඒ ඎද්‍ධිය ඒ පිරිවරද, පා යුගයෙහි ඒ සක් ලකුණුද (යන) සියල්ල අතුරුදන් විය. සියලු සකර දහම් හිස්වූවාහු නොවේද?

අනුශාසකවූ දීපඞ්කර ජිනරාජයන් වහන්සේ නන්‍දාරාමයෙහිදී පිරිනිවීය. එහිම උන්වහන්සේගේ (ධාතු පිහිටුවා කළ) ජිනථූපය තිස්හය යොදුනක් උස්වීය.

දීපඞ්කරස්ස භගවතො වංසො පඨමො.