ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

22. සිඛී බුදුරජුන්ගේ වංශය

විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති ’’සිඛී’’ නම් ජිනරාජතෙම වී.

මරසෙන් පරදවා, උතුම් බුදුබවට පැමිණි සේක්, සත්ත්‍වයන්ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.

සිඛී මුනි සඳුන් දම්සක් පවත්නා කල්හි කෝටි සියක් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.

නැවතද මිනිසුන්ට උතුම්වූ ගණදෙටු (සිඛී) බුදුරජුන් දම් දෙසන කල්හි කෝටි දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.

දෙවියන් සහිත ලෝකයාට යමාමහ පෙළහර දක්වන කල්හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.

මහර්ෂීවූ සිඛී බුදුරජුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැතිකළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.

ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ පළමු රැස්වීම වී. අසූ ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.

ජලයෙහි වැඩෙන ලද පියුමක් මෙන් නොතැවරුනාවූ සැත්තෑ දහසක් භික්‍ෂූන්ගේ තුන්වන සමාගමය වී.

මම ඒ කාලයෙහි ’’අරින්‍දම’’ නම් රජව බුදුපාමොක් සඟන ආහාර පානයෙන් වැළඳවූයෙමි.

මම බොහෝ උතුම් පිළිද, අපමණ පිළි සහල්ද පූජාකොට, සරසන ලද ඇත් යානයක් බුදුරජුන්ට පිදුවෙමි.

ඇත් යානය අගයකොට (සඟනට) කැප බඩු පිරිනැමූයෙමි. මගේ සිත සතුටින් නිතර දැඩිකොට එළඹ සිටී.

ලොවග නාහිමිවූ ඒ සිඛී බුදුරජතෙමේද, ’’මේ (අරින්‍දව රජ) තෙම මෙයින් තිස් එක්වන කපෙහි බුදුවන්නේය’’ යි මා ගැණ ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද, ’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ ජිනරාජයන් ඉදින් මුදන්නෙමු නම් මතු කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

මම ඒ බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.

මහර්ෂීවූ බුදුරජුගේ නුවර ’’අරුණවතී’’ නම්. පිය තෙම ’’අරුණවන්තු’’ රජය. වැදූ මව් ’’පභාවතී’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු සත් දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’සුවන්‍ද’’ ය, ’’ගිරි’’ ය, ’’වහන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිහතර දහසකි. බිරින්ද ’’සබ්බකාමා’’ නම් වූවාය. පුත් තෙම ’’අතුල’’ නම් වී.

(සිඛී) පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහා වීර්‍ය්‍ය ඇති නරදෙටු ’’සිඛී’’ ලොවග නා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’සිඛී’’ බුදුරදුන්ටද, ’’අහිභූ’’ ද, ’’සම්භව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’ඛෙමඞ්ක’’ නම් වී.

’’මඛිලා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’ඇටඹ රුක’’ යයි කියනු ලැබේ.

’’සිරිවඩ්ඪ’’ ද, ’’නන්‍ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’චිත්ත’’ ද, ’’සුගුත්ත’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් පහන් කණුවක් හා සමානව, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත්, ඒ බුදුරද තෙම උසින් සැත්තෑ රියනක් උස්වී.

ඒ (සිඛී) බුදුරජුන්ගේද බඹයක් තැන් පැතිර පවතින බැබලීමක් ඇති කයින් (නික්මෙන) ප්‍රභාවෝ රෑ දවල් නිතර තුන් යොදුනක් පමණ දිශානුදිශාවන්හි පැතිරෙත්.

මහර්ෂීවූ ඒ (සිඛී) බුදුරජුන්ට අවුරුදු සැත්තෑ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැස්සන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

සිව්සස් අවබෝධ කළ ’’සුඛී’’ මුනිසඳු ’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

සිඛිස්ස භගවතො වංසො වීසතිමො.