ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

21. විපස්සී බුදුරජුන්ගේ වංශය

ඵුස්ස බුදුරජුන්ට පසු කාලයෙහි පසැස් ඇති, දෙපා ඇති සතුන්ට උතුම්වූ, නම්න් ’’විපස්සී’’ නම් බුදුරජතෙම ලෝකයෙහි උපන් සේක.

සියලු අවිද්‍යාවන් නැතිකර දමා, උතුම් සම්බුදු බවට පැමිණි සේක්, දම්සක් පැවැත්වීමට ’’බන්ධුමතී’’ නුවරට වැඩිය සේක.

(ලොවට) නායකවූ බුදුරජතෙම දම්සක් පවත්වා, බාල සොහොවුරු ’’ඛණ්ඩකුමාර’’ ද, පුරොහිත බමුණු පුත් ’’තිස්ස’’ ද යන දෙදෙනාට සිව්සස් අවබෝධ කරවී. ගණනින් නොකිය හැකි (අපමණ) සත්ත්‍වයන්ට පළමු ධර්මාවබෝධය වී.

නැවතද අපමණ යසස් ඇති බුදුරජතෙම ඒ ’’බන්ධුමතී’’ පුරයෙහිදී සිව්සස් දෙසූ සේක. (එදා) අසූහාර දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.

අසූහාර දහසක් ජනයෝ සම්බුදුරජ අනුව පැවිදිවූහ. ආරාමයට පැමිණි ඔවුන්ට පසැස් ඇති බුදුරජතෙමේ දහම් දෙසූ සේක.

සියලු අයුරින් සිත් කන් යොමු කරවා දහම් දෙසන බුදුරජහුගේ (ධර්‍මය) අසා, (විපස්සී බුදුරජ අනුව පැවිදිවූ) ඒ භික්‍ෂූහුද උතුම් දහම් දැන (එලෙසින් පිළිපැදීමෙන් ඔවුන්ට) තුන්වන ධර්මාවබෝධය වී.

මහර්ෂීවූ විපස්සී බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදි කිලිටු නැති රහතන්ගේ රැස්වීම් තුණක් වූහ.

සැට අසූ දහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම වී. ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.

අට දහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම වී. එහි භික්‍ෂු සමූහයා මැද සම්බුදුරජ ඉතා බබලයි.

මම ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, පින්වත් ආලෝකයක් දරණ (බබලන) නම්න් ’’අතුල’’ නම් නාරජෙක් වීමි.

මම ඒ කාලයෙහි නොයෙක් කෝටි ගණන් නයින් පිරිවරා දිව්‍ය තූර්‍ය්‍යයන් වාදනය කරමින් ලෝකයාට උතුම්වූ බුදුරජවෙත එළඹියෙමි.

මම විපස්සී නම් ලොනාහිමි සම්බුදුරජ කරා එළඹ (ඒ) දම්රදුන්ට ආරාධනා කොට මිණිමුතු රුවණින් කළ, සියළු ආභරණින් හොබවන ලද රන් පුටුවක් පිදුවෙමි.

ඒ බුදුරජතෙමේද, සඟ මැද වැඩහිඳ, ’’මේ (අතුල නා රජ) තෙම මෙයින් අනූ එක්වන කල්පයෙහි බුදුවන්නේය’’ යි මා ගුණ ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

මම ඒ විපස්සී බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ (උපන්) නුවර ’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම ’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව් ’’බන්ධුමතී’’ දේවිය වූවාය.

ඒ විපස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය, ’’සුනන්‍ද’’ ය, ’’සිරිමන්තු’’ යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුතනා’’ නම් වූවාය. පුත් තෙම ’’සමවත්තක්ඛන්‍ධ’’ නම්.

(විපස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

බඹහු විසින් අයදනා ලද්දේ, මහා වීරවූ, නර දෙටු විපස්සී ලෝනා හිමිඳු ’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ට, ’’ඛණ්ඩ’’ ද, ’’තිස්සනාම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’අසෝක’’ නම් වී.

’’චන්‍දා’’ ද, ’’චන්‍දමිත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’පළොල්’’ ගස යයි කියනු ලැබේ.

’’පුනබ්බසුමිත්ත’’ ද, ’’නාග’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සිරිමා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස්විය. උන් වහන්සේගේ පැහැය සත් යොදුනක් තැන් දුවයි.

ඒ කාලයෙහි (විපස්සී) බුදුරජුන්ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.

ඒ (විපස්සී) බුදුරජතෙම ආලෝකය දක්වා, අමාපදයයි කියන ලද නිවන් තැබීමට කරුණුවූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

උතුම් ඎද්‍ධියද, උතුම් පිනද, (සක්) ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරයද, සියල්ල අතුරුදන් විය. සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?

නුවණ (නොහොත් වීර්‍ය්‍යය) ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය (දාගැබ) සත් යොදුනක් උස්වී. (හෙවත් සත් යොදුනක් උසට බඳින ලද්දේය.)

විපස්සිස්ස භගවතො වංසො එකූනවීසතිමො.