ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
24. කකුසඳ බුදුරජුන්ගේ වංශය
වෙස්සභූ නම් බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ, අපමණ ගුණ ඇති, (සතුරන්ට) ළංවිය නොහැකි, නම්න් ’’කකුසඳ’’ නම්වූ බුදුරජතෙම පාරමිතා පිරීමෙහි පරතෙරට ගියේ, සිංහ රාජයෙක් මැදිරිය (කූඩුව) බිඳ, සියලු නවවිධ භවය උගුලුවා උතුම් සම්බෝධියට පැමිණි සේක.
කකුසඳ ලෝනාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි සතලිස් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.
අන්තලික්ඛයයි කියන ලද අහසෙහි යුගල යුගල කොට, විකුවර්‍ණ ඎද්‍ධිය කොට, දෙවි මිනිසුන් කෝටි තිස් දහසක් දෙනෙකුන්ට (දෙවන සිවුසස්) අවබෝධය කරවී.
’’නරදේව’’ නම් යකුහට සිවුසස් වදාළ කල්හි උන්වහන්සේගේ ධර්මාවබෝධය (ලද්දෝ) ගණනින් අසංඛ්‍යයකි.
කකුසඳ භාග්‍යවතුන් වහන්සේට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, රාගාදී කිලිටු නැතිකළ රහතුන්ගේ එකම (රැස්වීමක්) විය.
ඒ කාලයෙහි ආසව ආදී සතුරු සමූහයා නැතිකිරීමෙන් දැමුනු බවට පැමිණි සතලිස් දහසක් භික්‍ෂූන්ගේ (රැස්වීම) වී.
මම ඒ කාලයෙහි ’’ඛෙම’’ නම් රජෙක් වීමි. තථාගතයන් වහන්සේටද, ජින පුත්‍රයන් (භික්‍ෂූන්)ටද බොහෝවූ දන් දී,
පාත්‍රයක්ද, සිවුරක්ද, අඳුන්ද, වැල්මීද, යන ආදී දෑ දී (පුදා) කැමතිවන ලද ඒ මේ උතුම් සියල්ලද පිළියෙළකොට දුනිමි.
ලෝනාහිමිවූ ඒ කකුසඳ මුනි සඳුද, ’’මෙතෙම මේ භද්‍ර කල්පයෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
මම ඒ බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.
ඒ කකුසඳ බුදුරදුන්ගේ උපන් නුවර ’’ඛෙම’’ නම් විය. ඒ කාලයෙහි මමද ’’ඛෙම’’ නම් ඇත්තෙක් වීමි. සර්‍වඥබව සොයමින් උන්වහන්සේගේ සමීපයෙහි පැවිදිවීමි.
මහර්ෂීවූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ඒ පිය තෙම ’’අග්ගිදත්ත’’ බමුණු නම් වී. වැදූ මව් ’’විසාඛා’’ නම් වූවාය.
ඒ ’’ඛෙම’’ නගරයෙහි මිනිසුන්ට උතුම්වූ ප්‍රධාන උසස් ජාති ඇති, මහත් පිරිවර ඇත්තාවූ සම්බුදුරජුන්ගේ මහත් නෑ කුලය විසී.
ඒ බුදුරජතෙම අවුරුදු හාරදහසක් ගිහිගෙයි විසීය. ’’රුචි’’ ය, ’’සුරුචි’’ ය, ’’වඩ්ඪමාන’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසකි. බිරින්ද ’’විරෝචමානා’’ නම් වූවාය. පුත් තෙම ’’උත්තර’’ නම් වී.
ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියෙකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කකුසඳ ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.
කකුසඳ ශාස්තෲන් වහන්සේට ’’විධුර’’ ද, ’’සඤ්ජීව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’බුද්‍ධජ’’ නම් වී.
’’සාමා’’ ද, ’’චම්පා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’භෙරී’’ (මාරා) ගසයයි කියනු ලැබේ.
’’අච්චුත’’ ද, ’’සුමන’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’නන්‍දා’’ ද, ’’සුනන්‍දා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
මහමුනිඳු සතළිස් රියනක් උස්විය. රන්වන් රැස් හාත්පස දසයොදුනක් තැන පැතිරෙත්.
මහර්ෂීවූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු සතළිස් දහසකි. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
දෙවියන් සහිත ලෝකයෙහි පුරුෂ ස්ත්‍රීන්ට දහම් නමැති සල්පිලක් ඇර තබා, සිංහ (උසස්) නාදකොට ශ්‍රාවකයින් සහිතව පිරිනිවි සේක.
අටඟ හඬින් යුත් වචන ඇති කකුසඳ බුදුරජ තෙමේද නිතර සිදුරු නැති සීලයෙන් යුත් අගසව් ආදී සියල්ලම අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
කකුසඳ ජිනරාජතෙම ’’ඛෙම’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය ගවුවක් අහසට උස්ව නැංගේය. (හෙවත් ගවුවක් උසට බඳින ලදී.)
[සිව්සස් අවබෝධ කළ ’’සුඛී’’ මුනිසඳු ’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.) ]
කකුසන්ධස්ස භගවතො වංසො ද්වාවීසතිමො.