ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

25. කොණාගමන බුදුරජුන්ගේ වංශය

කකුසඳ බුදුරදුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, ලොවට උසස්වූ, නරදෙටු ’’කෝණාගමන’’ නම් ජිනරාජතෙම

දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධියට පැමිණි සේක.

කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල්හි කෝටි තිස් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.

මිසදිටු වාද මැඩීමෙහි ලා පෙළහර කරන කල්හිද කෝටි විසි දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.

ඊට අනතුරුව පස්මරුන් දිනූ (කෝණාගමන) සම්බුදුරජතෙම විකුර්‍වණ ඎද්‍ධිය කොට දෙව්ලොවට වැඩි සේක්, එහි පඬුපුල් සලස්නෙහි වාසය කළ සේක.

ඒ මුනිඳු ප්‍රකරණ සත දෙසමින් වස් විසී. කෝටි දස දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.

දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ එක් සන්නිපාතයක් (රැස්වීමක්) වී.

ඒ කාලයෙහි චතුරෝඝයන් ඉක්මවූ, මරණය බිඳදැමූ, (රහත්වූ) තිස් දහසක් භික්‍ෂූන්ගේ සමාගමය (රැස්වීම) වී.

මම ඒ කාලයෙහි ’’පබ්බත’’ නම් රජෙකි. මිතුරන්ගෙන් හා ඇමතියන්ගෙන් යුත්වූයේ බොහෝ සේනා වාහනද විය.

බුදුරදුන් දැකීමට ගොස් උතුම් දහම් අසා ජිනරාජයන් සහිත සඞ්ඝයාට ආරාධනා කොට කැමති සේ දන් දී,

පත්තුණ්ණ දෙශයෙහි නිපදවන ලද පිළිද, චීන පිළිද, කොසෙය්‍ය පටපිළිද, කම්බිළිද, රන් පාදුකා (වහන්) ද, ශාස්තෲන් වහන්සේට හා ශ්‍රාවකයන්ට පිදුවෙමි.

ඒ මුනි සඳුද, සඟ මැද වැඩහිඳ, ’’මේ පර්‍වත රජ තෙම මේ භද්‍ර කල්පයෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,

ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.

නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.

මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

මම ඒ බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.

මම මිනිසුන්ට උතුම්වූ බුදුරදුන්ට දන් දී, රජය හැරපියා, සර්‍වඥබව සොයමින් උන්වහන්සේ වෙත පැවිදිවීමි.

(කෝණාගමන බුදුරදුන් උපන්) නුවර ’’සොනවතී’’ නම්. (එහි) ’’සොන’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා නෑ කුලය වාසය කළේය.

ශාස්තෘවූ ඒ කෝණාගමන බුදුරදුන්ගේ ඒ පිය තෙම ’’යඤ්ඤදත්ත’’ නම් බමුණු විය. ’’උත්තර’’ නම් බැමිණි තොමෝ මව් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු තුන් දහසක් ගිහිගෙයි විසී. ’’තුසිත’’ ය, ’’සන්තුසිත’’ ය, ’’සන්තුට්ඨි’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ නොඅඩුවූ සොළොස් දහසකි. බිරින්ද ’’රුචිගත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සත්‍ථවාහ’’ නම් වී.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සය මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසුරුණේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කෝණාගමන නම් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේට ’’භිය්‍ය’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සොත්‍ථීජ’’ නම් වී.

’’සමුද්දා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’දිඹුල් ගස’’ යයි කියනු ලැබේ.

’’උග්ග’’ ද, ’’සොමදේව’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සීවලා’’ ද, ’’සාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ බුදුරජතෙම උසින් තිස් අට රියනක් උස්වී. උදුන් මුවෙහි රත්රන් යම් සේද, එපරිද්දෙන් රශ්මියෙන් අලඞ්කාරවී.

ඒ කාලයෙහි (කොණාගමන) බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒතාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ධර්ම නමැති සෑයක් ගොඩනගා, සිවුසස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල්ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

උන්වහන්සේගේ ලොවුතුරු දහම් පළවන මහා විලාසයද, ශ්‍රාවක ජන සමූහයාද (යන) සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

’’කොණාගමන’’ නම් බුදුරජතෙම ’’පබ්බතාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී.

[සිව්සස් අවබෝධ කළ ’’සුඛී’’ මුනිසඳු ’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.) ]

කොණාගමනස්ස භගවතො වංසො තෙවීසතිමො.