ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
27. ගෞතම බුදුරජුන්ගේ වංශය
මේ කාලයෙහි ශාක්‍ය කුලය වැඩි දියුණු කරණ, ගෞතම බුදුරජවූ මම ප්‍රධාන වීර්‍ය්‍යය කොට සම්බෝධියට පැමිණියෙමි.
බඹහු විසින් අයදනා ලද්දේ, දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
ඉන් පසුද දෙවි මිනිසුන්ගේ රැස්වීමේදී දහම් දෙසන කල්හි ගණනින් නොකිය හැකි දෙනෙකුට දෙවන ධර්‍මාවබෝධය වී.
මෙහිදීම මම මේ කාලයෙහිදී මාගේ පුතුට අවවාද කෙළෙම්ද, ඒ කාලයෙහි ගණනින් නොකිය හැකි දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් වි. දෙදහස් පන්සියයක් පමණ භික්‍ෂූන්ගේ රැස්විමක් වි.
බික් සඟන මැද බුදු සිරින් බබලන, රාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිනිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සියල්ල දෙමි.
සිව් මග පල කැමතිවන, භව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකම්පාකොට සිවුසස් දෙසුවෙමි.
දසදහස් දෙනාට, විසිදහස් දෙනාට (වරින්වර) ධර්‍මාවබෝධය වී. එකෙකුට දෙන්නෙකුට (වූ) ධර්‍මාවබෝධය ගණන් නොකළ හැකි (හෙවත් අසංඛ්‍යයකි.)
මේ කාලයෙහි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨවූ මාගේ සස්න පැතුරුනේය. බොහෝ දෙනා අතර පළවිය. දියුණුය. සියලු අයුරින් පිරුණේය. මග පල නමැති මල් පිපි ගියේය. ඉතා පිරිසිදුය.
ආසාව නැති, රාගාදිය පහකළ, සන්හුන් සිත් ඇත්තාවූ, එකඟ සිත් ඇති, නොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු මා හැම කල්හි පිරිවරත්.
මේ කාලයෙහි සෙඛවූ රහත් බවට නොපැමිණි යම් භික්‍ෂු කෙනෙක් මිනිස් බව හරිත්ද, ඒ භික්‍ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරණ ලද්දාහුය.
සසර හැසිරෙන්නාවූ සියල්ලෝද, දහම්හි ඇලුනු ජනයෝද, අරි අටඟි මගට පසසන මනා සිහි ඇති සත්ත්‍වයෝද, (අනාගතයෙහි) සිවුසස් අවබෝධ කරත්.
මාගේ උපන් නුවර ’’කිඹුල්වත්’’ නම්. පියතෙම ’’සුදොවුන්’’ නම් රජය. වැදූ මව් තොමෝ ’’මායාදේවී’’ යයි කියනු ලැබේ.
මම (බුදුවන්ට පෙර) එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කෙළෙමි. ’’රම්ම’’ය, සුරම්ම’’ය, ’’සුභ’’ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව අලංකාර කළ පිරිවර අඟනෝ සතළිස් දහසකි. බිරින්ද ’’භද්දකච්චානා’’ (යශොදරා) නම් වූවාය. පුත්තෙම ’’රාහුල’’ නම් වී.
මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි. අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍ය්‍යය කෙළෙමි.
බරණැස ඉසිපතනාරාමයේදී මා විසින් දම්සක් පවත්වන ලදී. මම සියලු සතුන්ට පිහිටවූ ගෞතම සම්බුදු වෙමි.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වෙති. මාගේ අතවැසි උපස්ථායක තෙම ’’ආනන්‍ද’’ නම් වේ.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන භික්‍ෂුණීහු දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති.
’’චිත්ත’’ ද, ’’හත්‍ථාලක’’ ද යන උපාසකයෝ දෙදෙන අග්‍ර උපස්ථායකයෝ වෙති. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන උපාසිකාවෝ දෙදෙන අග්‍ර උපස්ථායිකාවෝ වෙති.
මම ඇසතු රුක් මුලදී උතුම් සම්බෝධියට (බුදුබවට) පැමිණියෙමි. හැම කල්හි මාගේ සිරුරෙහි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවාය.
මෙකල ආයුෂය මඳවූයේ සියක් අවුරුද්දක් පවත්නේය. මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා (සසරින්) එතර කරමි.
පසුවට ඇතිවන ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති එළිය හුල තබා මමද නොබෝ දිනකින්ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙහිදීම පිරිනිවන් පාන්නෙමි.
ඒ අසම තේජස්ද, මේ දසබලද, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුරද යන-
සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිගුන් හොබවා අතුරුදන් වන්සේය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද? (වෙත් මැයි.)
ගොතමස්ස භගවතො වංසො පඤ්චවීසතිමො.