ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

28. බුදුවරුන්ගේ ප්‍රකීර්‍ණක කාණ්ඩය

මෙයින් (මේ කපින්) පමණ කළ නොහැකි කපක්වූ එක් කපෙක සත්ත්‍වයන් හික්මවන ’’තණ්හඞ්කර’’ ය, ’’මෙධඞ්කර’’ය, නැවතද ’’සරණඞ්කර’’ය, ’’දීපඞ්කර’’ය යන ඒ සතර ජිනවරයෝ එක් කපෙකවූහ.

දීපඞ්කර බුදුරදුන්ට පසු කාලයෙහි ලෝකනායකවූ ’’කොණ්ඩඤ්ඤ’’ නම් එකම බුදුවරයෙක් එක් කපෙක බොහෝ ජන සමූහයා (සසර සයුරෙන්) එතර කළ සේක.

දීපඞ්කර භාග්‍යවත්හුගේද, කොණ්ඩඤ්ඤ ශාස්තෘහුගේද යන මේ බුදුවරයන්ගේ අතර කල්පයෝ ගණන් කළ නොහැක.

’’කොණ්ඩඤ්ඤ’’ බුදුරදුන්ට පසු කාලයෙහි ’’මඞ්ගල’’ නම් ලෝනාහිමි තෙම වී. ඒ බුදුවරයන්ගේද අතර කල්පයෝ ගණනින් නොගිණිය හැක.

’’මඞ්ගල’’ය, ’’සුමන’’ය, ’’රෙවත’’ බුදුය, ’’සොභිත’’ බුදුය යන පසැස් ඇති ආලෝකය ඇති කරණ ඒ බුදුවරයෝද එක් කල්පයෙක්හිම (වූහ.)

’’සොභිත’’ බුදුරදුන්ට පසු කාලයෙහි මහත් පිරිවර ඇති, ’’අනෝමදස්සී’’ බුදුජතෙම ලොව පහල වී. උන්වහන්සේලාගේද අතර කල්පයෝ ගණණිය් ගිණිය නොහැක.

’’අනොමදස්සී’’, ’’පදුම’’, ’’නාරද’’ යන ලෝක නායක, මොහඳුරු දුරුකළ, මුනි නම්වූ ඒ බුදුරදහුද, එක් කලෙක ලොව පහල වූහ.

’’නාරද’’ බුදුරදුන්ට පසු කාලයෙහි ’’පදුමුත්තර’’ නම් ලෝනාහිමි මෙම එක් කපෙක උපන් සේක. බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

’’නාරද’’ භාග්‍යවත්හුගේ සහ ’’පියුමතුරා’’ ශාස්තෘහුගේ යන ඒ බුදුවරුන් අතර කල්පයෝ ගණනින් ගිණිය නොහැක.

(මේ කපින්) ලක්‍ෂයක් වන කපෙහිදී මුළු ලෝ දත්, සිව්පසයන් පිළිගන්නාවූ, එක් ’’පියුමතුරා’’ නම් මහ මුනිවරයෙක් වී.

ඒ පියුමතුරා බුදුරදුන්ට පසු, තිස් දහස්වන කපෙහි සුමේධය, සුජාතාය යන බුදුවරයෝ දෙනමක් වූහ.

සුජාතා බුදුරදුන්ට අසූ අටලොස්වන කප් සියය වූ කල්හි එක් කල්පයෙක පියදස්සී, අත්‍ථදස්සීද, ධම්මදස්සීය යන තමහට සමාන පුද්ගලයෙක් නැති, සිය නැණින් සිව්සස් අවබෝධ කළ (සම්බුදුව) දෙපා ඇති සතුන්ට (දෙව් මිනිසුන්ට) උතුම්වූ ලෝනාහිමි සත්ත්‍වයන් හික්මවන සම්බුදුවරයෝ තුන් නමක් ලෝකයෙහි පහළවූහ.

මේ කපින් සිව් අනූවන කපෙහි තුන්ලොව දත්, (කෙලෙස් හඬ කපා හරණා හෙයින්) සැත් වෙදෙකු වැනි, උතුම්වූ ඒ එකම සිද්‍ධත්‍ථ මහමුනිඳු තෙම වී.

මේ කපින් දෙඅනූවන කපෙහි තිස්සය, ඵුස්සය යන දෙවැනි පුද්ගලයෙක් නැති, අසමවූ, සත්ත්‍වයන් හික්මවන සම්බුදුවරයෝ දෙනමක් වූහ.

මේ කපින් අනු එක්වන කපෙහි (ලොව පහලවූ) කරුණා ඇති, ලොවට නායක විපස්සී සම්බුදුරදහුද සතුන් බව බැඳුමෙන් මිදීම කළ සේක.

මේ කපින් තිස්එක්වන කපෙහි අසමවූ, දෙවැනි පුද්ගලයෙක් නැති, ’’සිඛී’’, ’’වෙස්සභූ’’ යන බුදුවරයෝ දෙනමක් වූහ.

මේ භද්‍ර කල්පයෙහි ’’කකුසඳ’’ය, ’’කොණාගමන’’ය, ’’කස්සප’’ය යන ලොවට නායකවූ, සතුන් හික්මවන බුදුවරයෝ තුන් නමක් වුහ.

මම මේ කාලයෙහි සම්බුදු වෙමි. (අනාගතයෙහි) ’’මෙතේ’’ බුදුරදහුද ඇති වන්නේය. නුවණ ඇත්තාවූ, ලොවට අනුකම්පා කරණ මේ බුදුවරයෝ පස්දෙනා වහන්සේලාද,

මේ දම්රදුන් අනික් කෝටි ගණන් බුදුවරයන්ගේද, ඒ මග දේශනාකොට, ශ්‍රාවකයන් සහිතව ඒ බුදුවරයෝ පිරිනිවියාහුය.

බුද්ධපකිණ්ණකකණ්ඩං නිට්ඨිතං.