ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
29. ධාතු බෙදීමේ කථාව
(සීලාදී ගුණයන්) මහත්වූ ගෞතම නම් ජිනරාජතෙම කුසිනාරා නුවර පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල (උන්වහන්සේගේ) ධාතු පැතිරීම වී.
අජාසත් රජහට (ධාතු) එක් කොටසක්ද, එක් කොටසක් විසාලා මහනුවරෙහිද, එක් කොටසක් කිඹුල්වත් පුරයෙහිද, එක් කොටසක් අල්ලකප්ප නම් නුවරෙහිද, එක් කොටසක් රාම නම් ගමෙහිද, එක් කොටසක් වෙඨදිපක රටෙහිද, එක් කොටසක් කුසිනාරා නුවර වැස්සන් කෙරෙහිද, එක් කොටසක් පාවා නුවර වැසි මල්ල රජුන් කෙරෙහිද (වී.)
දෝණ නම් බමුණුතෙම කුම්භථූපය කරවූයේය. සතුටු සිත් ඇති මෞර්‍ය්‍යයෝ අඞ්ගාර ථූපය කරවූවාහුය.
බුදුසිරුර පිළිබඳ ධාතු පිහිටුවා කළ දාගැබ් අටකි. නවවන කුම්භ ථූපයද, දසවන අඞ්ගාර ථූපයද, එකල්හිම පිහිටි සේක.
එක් දළදාවක් තිදස පුරයෙහි (තව්තිසා දෙව්ලොව)ද, එක් දළදාවක් නාලොවද, එක් දළදාවක් ගන්ධාර රටෙහිද, එක් දළදාවක් කළිඟු රටෙහිද විය.
සමසතලිස් දත්ද, කෙස්ද, ලොම්ද, එක එක හැම ලෙසින් දෙවියෝ එක එක සක්වළ පිළිවෙළින් ගෙන ගියාහුය.
භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයද, සැරයටියද, පොරෝනා සිවුරුද, මධුරායෙහිද, හඳනා සිවුර කුරරඝර නුවරෙහිද, පසතුරුණ කිඹුල්වත් පුරයෙහිද,
දිය පෙරණ ඩබරාවද, කාබහණ (පටිය) ද පැලලුප් නුවරෙහිද, ජලශාටිකාව (නහනකඩ) චම්පා නුවරෙහිද, ඌර්‍ණ රෝම ධාතුව කොසොල් රටෙහිද,
බඹලොවෙහි කසාවතද, හිස් වෙලුම දෙව්ලොවෙහිද, යම් පා සලකුණක් නිවනට පිහිටවේද, උතුම් (ඒ) පා සලකුණ (සමන්කුළු ආදී) පහණෙහි (ගලෙහි) ද, ඒ කාලයෙහි නිසීදනය (හිඳිනා සම්කඩ) අවන්ති පුරයෙහිද, ඇතිරිය කුරුරටෙහිද,
ගිනිගානා දණ්ඩ මිථිලා නුවරෙහිද, දිය පෙරහන විදෙහ නුවරෙහිද, කරය (දැලිපිහිය)ද, හිඳිකටු කුලාවද ඒ කාලයෙහි ඉඳිපත් පුරයෙහිද,
ඒ කාලයෙහි මුනිඳුන් විසින් පරිභෝග කරණ ලද සෙසු පිරිකරවලට අපරන්ත ජනපදයෙහි වැසියෝ පූජා කළහ.
ඒ කාලයෙහි සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස ගෞතම බුදුරදුන්ගේ ධාතු පැතිරීම (මෙසේ) වීයයි පැරැණියෝ කීවාහුය.
ධාතුභාජනීයකථා නිට්ඨිතා.
බුද්ධවංසොනිට්ඨිතො.