සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
4. කළාරඛත්තිය වර්ගය
7. නතුම්හාක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ කය නුඹලාගේ නොවේ. අනුන්ගේද නොවේ. මහණෙනි, මේ කය පුරාණවූ කර්මයෙන් උපන්නේය. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද්දේය. චේතනාව මුල් කොට ඇත්තේයයිද, වේදනාව වස්තුයයිද දතයුතුය. මහණෙනි, එහිදී, ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකතෙම වනාහි “පටිච්චසමුප්පාදයම” මනාකොට නුවණින් මෙනෙහි කරයි. ‘මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇති වෙයි. මේ හේතුව ඇතිවීමෙන් මේ ඵලය ඇතිවේ. මේ හේතුව නැති කල්හි මේ ඵලය නැතිවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ, යනුවෙනි. හේ මෙසේයි:-
“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඥාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. (ඉපදීම) ජාතිය නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම්, ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය ඇතිවේ.
අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි, භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා මරණ, ශෝක පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවෙයි.
(හත්වන නතුම්හාක සූත්‍රය නිමි.)