සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
4. කළාරඛත්තිය වර්ගය
10. චේතනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් සිතයිද, යමක් කල්පනා කෙරෙයිද, යමක් නැවත නැවත පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු වෙයි. හේතුව ඇතිකල්හි කර්ම විඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි, කර්මවිඤ්ඤාණය වැඩුණු කල්හි, තණ්හාව ඇතිවෙයි. තණ්හාව ඇති කල්හි නිමිති වැටහීමෙන් ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම වෙයි. නිමිති වැටහීමෙන් ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම ඇති කල්හි චුතිය හා ඉපදීම වෙයි. චුතිය හා ඉපදීම ඇති කල්හි මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි ඉදින් නොසිතයිද, කල්පනා නො කෙරෙයිද, එහෙත් පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතුව වෙයි. හේතු ඇති කල්හි කර්මවිඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි, වැඩුණු කල්හි, තණ්හාව ඇතිවෙයි. තණ්හාව ඇති කල්හි, නිමිති වැටහීමෙන් ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම වෙයි. නිමිති වැටහී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම ඇතිකල්හි චුතිය හා උත්පත්තිය වෙයි. චුතිය හා උත්පත්තිය ඇති කල්හි මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය ඇතිවෙයි.
“මහණෙනි, යම් හේතුවකින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, නොපවතියිද මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු නොවෙයි. හේතු නැති කල්හි කර්ම විඤ්ඤාණය නොපිහිටයි. කර්මවිඤ්ඤාණය නොපිහිටි කල්හි, නොවැඩුණු කල්හි තණ්හාව ඇති නොවෙයි. තණ්හාව නැති කල්හි, නිමිති වැටහීමෙන් ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම ඇතිනොවෙයි. නිමිති වැටහී ප්‍රතිසන්ධියේ වශයෙන් විඤ්ඤාණයාගේ පැවැත්ම නැති කල්හි චුතිය හා උත්පත්තිය නොවෙයි. චුතිය හා උත්පත්තිය නැති කල්හි මත්තෙහි ජාති, ජරාමරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවේයයි (වදාළ සේක.)
(දසවන චේතනා සූත්‍රය නිමි.)
හතරවන කළාරඛත්තිය වර්ගය නිමි.
භූතමිදං සූත්‍රය, කළාරඛත්තිය සූත්‍රය, ඤාණවත්ථු සූත්‍ර දෙකය, අවිජ්ජා සූත්‍ර දෙකය, නතුම්හාක සූත්‍රය සහ චේතනා සූත්‍ර තුනයයි මේ වර්ගයෙහි සූත්‍ර දහයකි.