සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

3. කම්මපථ වර්ගය

3. පඤ්චසික්ඛාපද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. සොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක් වූහ, සමගි වූහ. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට හා කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”

(තුන්වෙනි පඤ්චසික්ඛාපද සූත්‍රය නිමි.)