සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
3. භවනෙත්ති සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, භව රැහැන භව රැහැනයයි කියනු ලැබේ. ස්වාමීනි, භව රැහැන නම් කවරේද? භව රැහැන නැතිවීම නම් කවරේද?
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ (රාග ද්වේෂ සිත්) වෙත්ද, මේ වනාහි භව රැහැන් යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භව රැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
(තුන්වෙනි භවනෙත්ති සූත්‍රය නිමි.)