සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
19. ආසිවිස වර්‍ගය
11. යවකලාප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්සේ යව මිටියක් සතරමං සංධියෙක්හි දමන ලද්දේවේද, කත් ලී ගත් අත් ඇති පුරුෂයන් සය දෙනෙක් එන්නාහුය. ඔවුහු ඒ යව මිටියට කත් ලීයෙන් ගසන්නාහුය. මහණෙනි, මෙසේ ඒ යව මිටිය කත්ලී සයෙන් ගසනු ලැබීමෙන් යව මිටිය මඩින ලද්දේ වෙයි. ඉක්බිති සත්වෙනි පුරුෂයෙක් කත් ලීයක් අතේ ඇතිව එතැනට පැමිණෙන්නේය. ඔහු ඒ යව මිටියටම සත්වෙනි කත් ලීයෙන් ගසන්නේය.මහණෙනි, මෙසේ ඒ යව මිටිය සත්වෙනි කත් ලීයෙන් ගසනු ලැබීමෙන් අතිශයින් මඩින ලද්දේ වෙයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම මනාප අමනාප රූපයන්ගෙන් ඇසට අනී. මනාප අමනාප ශබ්දයන්ගෙන් කණට අනී. මනාප අමනාප රසයන්ගෙන් දිවට අනී. මනාප අමනාප ගන්‍ධයන්ගෙන් නාසයට අනී. මනාප අමනාප ස්පර්‍ශයන්ගෙන් කයට අනී. මනාප අමනාප ධර්‍මයන්ගෙන් සිතට අනී. මහණෙනි, ඉදින් ඒ අශ්‍රුතවත් පෘථග්ජනතෙම මතු භවය ගැන සිතයි. මහණෙනි, මෙසේ ඒ පුරුෂයා හිස් පුරුෂයෙක් වෙයි. අතිශයින් පෙළුනෙක් වෙයි. මහණෙනි, ඒ යව මිටිය සත්වෙනි කත් ලීයෙන් මඩිනු ලබන්නී යම්සේ ද එමෙනි.
’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. බොහෝ කලකට පෙර දෙවියන්ගේ හා අසුරයන්ගේ යුඬයක් විය. මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරෙන්‍ද්‍රතෙම අසුරයන්ට කථාකොට ‘පින්වත්නි, ඉදින් දිව්‍ය අසුර යුඬය පැවති කල්හි අසුරයෝ දිනන්නාහු නම් දෙවියෝ පරදින්නාහු නම් ඒ සක්දෙව්රජ අත් පා සහ බෙල්ල එක්කොට බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනඑවයි කීයේය. සක්දෙව් රජද ‘ ඉදින් පින්වතුනි, දිව්‍ය අසුර යුඬය පටන්ගත් කල්හි දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් ඒ වේපචිත්ති අසුරෙන්‍ද්‍රයා අත් පා සහ බොටුව එක්කොට බැඳ සුධර්‍මා නම් දිව්‍ය සභාවෙහි මාගේ සමීපයට ගෙනඑවයි කීවේය.
’’මහණෙනි, ඒ යුඬයෙන් දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනාහ. මහණෙනි, ඉක්බිති තව්තිසා දෙවියෝ වේපචිත්ති අසුරේන්‍ද්‍රයා අත් පා සහ බොටුව එක්කොට බැඳ සුධර්‍මා නම් දිව්‍ය සභාවෙහි සක්දෙව් රජු ළඟට ගෙනාවෝය. මහණෙනි, එහිදී වේපචිත්ති අසුරේන්‍ද්‍රයා අත් පා සහ බොටුව එක්කොට බඳින ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට දෙවියෝ වනාහි ධාර්මිකයහ. අසුරයෝ අධාර්මිකයහ. දැන් මම දෙව්පුරයට යමියි මෙබඳු සිතක් වේද එකල්හි තමා අත් පා සහ බොටුව එක්කර බැඳි බැම්මෙන් මිදුනකු වශයෙන් දකියි. පඤචකාම ගුණයෙන් දිව්‍ය පඤ්චකාමයෙන් සමන්විතව දෙව් සැප අනුභව කරන්නේය. මහණෙනි, යම් කලෙක වේපචිත්ති අසුරයා හට අසුරයෝ ධාර්මිකයහ. දෙවියෝ අධාර්මිකයහ. දැන් අසුර පුරයට යමියි සිතේද, එකල්හි තමා බන්‍ධනයෙන් බැඳුනකු වශයෙන් දකියි. දිව්‍ය පඤචකාම ගුණයෙන් පිරිහෙයි. මහණෙනි, වේපචිත්ති බන්‍ධනය මෙතරම් සියුම්ය මාර බන්‍ධනය ඊටත් වඩා අතිශයින් සියුම්ය. මහණෙනි, තණ්හා මාණ දිටඨි වශයෙන් හඟින පුද්ගලයා මාරයාට බැඳුණේය. එසේ නොහඟින පුද්ගලයා මාරයාගෙන් මිදුණේය.
’’මහණෙනි, ‘වෙමි’ යන මෙය හැඟීමෙකි. ‘මේ මම වෙමි’ යන මෙය හැඟීමෙකි. ‘වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘නොවන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංස්කාර ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංඥාව ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. මහණෙනි, හැඟීම රෝගයකි. හැඟීම ගඩකි. හැඟීම උලකි. මහණෙනි, එහෙයින් නොහඟින්නාවූ සිතින් වාසය කරන්නෙමියි’ මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
’’මහණෙනි, ‘වෙමි’ යන මෙය කම්පා වීමකි. ‘මේ මම වෙමි’ යන මෙය කම්පා වීමකි. ‘වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. මහණෙනි, කම්පා වීම රෝගයකි. කම්පා වීම ගඩකි. කම්පා වීම හුලකි. මහණෙනි, එසේ හෙයින් මෙහි කම්පා නොවන්නාවූ සිතින් වාසය කරන්නෙමියි’ තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
’’මහණෙනි, ‘වෙමි’ යන මෙය සෙලවීමකි. ‘මේ මම වෙමි’ යන මෙය සෙලවීමකි. ‘වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘නොවන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන සෙලවීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘සංඥා ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. මහණෙනි, සෙලවීම රෝගයකි. සෙලවීම ගඩකි. සෙලවීම හුලකි. මහණෙනි, එසේ හෙයින් මෙහි ‘නොසැලෙන සිතින් යුක්තව වාසය කරන්නෙමියි’ මහණෙනි, මෙසේ හික්මිය යුතුයි.
’’මහණෙනි, ‘වෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘මේ මම වෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘නොවන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන ප්‍රමාදවීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘සංඥා ඇත්තෙක්ද නැත්තෙක්ද වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. මහණෙනි, ප්‍රමාදය රෝගයකි. ප්‍රමාදය ගඩකි. ප්‍රමාදය හුලකි. එසේ හෙයින් මහණෙනි, ‘ප්‍රමාදයෙහි නොඇලෙන සිතින් වාසය කරන්නෙමියි’ තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
’’මහණෙනි, ‘වෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘මේ මම වෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘නොවන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මාණයට පැමිණීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘සංඥා ඇත්තෙක්ද නැත්තෙක්ද වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. මහණෙනි, මේ මාණයට පැමිණීම රෝගයකි. මාණයට පැමිණීම ගඩකි. මාණයට පැමිණීම හුලකි. මහණෙනි, මෙහි ‘නිහතමාන සිතින් වාසය කරන්නෙමියි’ මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.,
ආසිවිස වර්‍ගය නිමි.
සළායතනවග්ගෙ චතුත්ථපණ්ණාසකො සමත්තො.
සළායතනසංයුත්තං සමත්තං.