සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

8. භික්ඛු සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, මෙහි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ’ඇවැත්නි, කිනම් අර්ත්‍ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු. ’ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි.

’’ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්‍මයට එකඟව ප්‍රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ’’ යි ඇසූහ.

’’මහණෙනි, තෙපි මෙසේ අසන ලද්දාහු, මෙසේ ප්‍රකාශ කරන්නාහු නම් මා විසින් කියන ලද්දක් කියන්නාහුද වෙත්. මට අභූතයෙන් චෝදනා කරන්නාහුද නොවෙත්. ධර්‍මයට එකඟව ප්‍රකාශ කරන්නාහුද වෙත්. කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු තැනට පැමිණෙන්නේද නොවේ. මහණෙනි, මා කෙරෙහි දුක පිරිසිඳ දැනිම පිණිසම මහණකම් කරන්නේය.

’’මහණෙනි, ඉදින් තොපගෙන් අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ, ’ඇවැත්නි, යමක් පිරිසිඳ දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද, ඒ දුක කවරේදැ’ යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්.

’’ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රූපය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

’’කණ වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ශබ්දය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

’’නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ගන්‍ධය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

’’දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

’’කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ස්පර්‍ශය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

’’සිත දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. ධර්‍මයෝ දුකය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. ’’ඇවැත්නි, දුක නම් මේය. ඒ දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය.

’’මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්’’ යයි වදාළ සේක.