සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
3. අට්ඨසත පරියාය වර්‍ගය
2. අට්ඨසත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, තොපට කරුණු එකසිය අටක් ඇති ධර්‍ම ක්‍රමයක් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, කරුණු එකසිය අටක් ඇති ධර්‍ම ක්‍රමය කවරේද? මහණෙනි, මා විසින් කරුණු අනුව වේදනා දෙකක් වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා තුනක්ද වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා පසක්ද වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා සයක්ද වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා දහඅටක්ද වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා තිස්හයක්ද වදාරණ ලදී. මා විසින් කරුණු අනුව වේදනා එකසියඅටක්ද වදාරණ ලදී.
’’මහණෙනි, වේදනා දෙක කවරේද, කායික වේදනාය, චෛතසික වේදනාය යන දෙකයි. මහණෙනි, මොවුහු දෙවැදෑරුම් වේදනාවෝයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, ත්‍රිවිධ වේදනාවෝ කවරහුද, සැප වේදනාය, දුක් වේදනාය උපේක්‍ෂා වේදනාය යනුයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, පඤ්චවිධ වේදනාවෝ කවරහුද, සැප ඉන්‍ද්‍රිය, දුක් ඉන්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය, දොමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය යන මොහුයි. මහණෙනි, මොවුහු පඤ්චවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, සවැදෑරුම් වේදනාවෝ කවරහුද, චකඛු සම්ඵස්සජ වේදනාය, සොත සම්ඵස්සජ වේදනාය, ඝාණ සම්ඵස්සජ වේදනාය, ජිව්හා සම්ඵස්සජ වේදනාය, කාය සම්ඵස්සජ වේදනාය, මනො සම්ඵස්සජ වේදනාය යන මොහුයි. මහණෙනි, මොවුහු හය ආකාර වේදනාවෝයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, අටළොස් වේදනාවෝ කවරහුද, සොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, දොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, උපෙක්‍ෂාව සමග හැසිරෙන්නාවූ වේදනා සයය යන මොවුහුය. මහණෙනි, මොවුහු අටළොස් වේදනායයි කියනු ලැබෙත්.
’’මහණෙනි, සතිස් වේදනාවෝ කවරහුද, ගෘහය ඇසුරු කළ සොම්නස් සයය, හික්මීම ඇසුරු කළ සොම්නස් සයය, ගෘහය ඇසුරු කළ දොම්නස් සයය, හික්මීම ඇසුරු කළ දොම්නස් සයය, ගෘහය ඇසුරු කළ උපෙක්‍ෂා සයය, හික්මීම ඇසුරු කළ උපෙක්‍ෂා සයය. මහණෙනි, මොවුහු සතිස් වේදනාවෝයයි කියනු ලැබෙත්.
’’මහණෙනි, එකසිය අටක් වේදනාවෝ කවරහුද? අතීතවූ සතිස් වේදනාය, අනාගතවූ සතිස් වේදනාය, වර්‍තමාණවූ සතිස් වේදනාය යන මොහුය. මහණෙනි, මොවුහු එකසිය අටක් වේදනාවෝයයි කියනු ලැබෙත්. මහණෙනි, මේ වනාහි එකසිය අට ආකාරයක් ඇති ධර්‍ම ක්‍රමයයි කියනු ලැබේ.