සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

3. අට්ඨසත පරියාය වර්‍ගය

1. සීවක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම් සථානයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි මොළිය සීවක නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් මොළිය සීවක පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. , භවත් ගෞතමයන් වහන්ස, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද හේතු නිසායයි මෙසේ කියන මෙවැනි දෘෂ්ටි ඇති සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. භවත් ගෞතමතෙම මෙහිදී කුමක් කියන්නේද?,

’’සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා පිත නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදන්නේයයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා සෙම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා වාතය නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා තුන්දොස් කිපීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා සෘතු විපර්‍ය්‍යාස නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා විෂම හැසිරීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලොකයෙහි ඇතැම් වේදනා අනුන්ගේ උපක්‍රම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලොකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.

’’සීවකය, කර්‍ම විපාක නිසාද, මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදිත්. සීවකය, කර්‍ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදින බව තමා හටමද පෙනෙන්නේය. සීවකය, යම්සේ කර්‍ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, එහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්යමණ කෙනෙක් මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පෙරකළ හේතූන් නිසායයි කියත්නම් ඔවුහු තමා විසින් දන්නා ලද්දද, ඉක්මවත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවත්. එසේ හෙයින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම බොරුයයි කියමි.,

මෙසේ වදාළ කල්හි මොළිය සීවක පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, යහපත, භාග්‍යවතුන් වහන්ස, ඉතා යහපත, භාග්‍යවතුන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැහුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද, අන්‍ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි’ තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලදී. භවත් ගෞතමයන් වහන්ස, මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්‍මයද, භික්‍ෂු සංඝයාද (සරණ කොට යමි.) භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වායි කීයේය.

’’පිතද, සෙමද, වාතයද, සන්නිපාතයද, සෘතුවද, විෂම පැවැත්මද, උපක්‍රමයද, කර්‍ම විපාකයද යන හේතු අටක් වන්නේය.