සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

7. චිත්ත සංයුත්තය

9. අචේල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එකල්හි වනාහි චිත්ත ගෘහපතියාගේ පෙර ගිහි යහළුවෙකුවූ අචෙල කාශ්‍යපතෙම මච්ඡීකාසණ්ඩයට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම අපගේ පෙර ගිහි යහළුවූ අචෙල කාශ්‍යප තෙම මිච්ඡිකාසණ්ඩයට පැමිණියේයයි ඇසුයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම අචෙල කාශ්‍යපතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ අචෙල කාශ්‍යප සමග සතුටුවිය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම අචෙල කාශ්‍යපට, “ස්වාමීනි, කාශ්‍යපය පැවිදිවී කොපමණ කල් වන්නේදැයි’ ඇසීය.

“ගෘහපතිය මා පැවිදිව තිස් වර්ෂයක් පමණ වන්නේ යයි කීයේය.”

“ස්වාමීනි, මේ තිස් වර්ෂයක් පමණ කාලය තුළ ඔබ විසින් මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස්වූ ආර්ය ඥාන දර්ශන විශෙෂයක්වූ සැප විහරණයක් අවබොධ කරන ලද්දේදැයි” ඇසීය.

“ගෘහපතිය, මා විසින් මේ වර්ෂ තිසක් පමණ කාලය තුළ නග්නබව, මුඩුබව වැලිපිසින මොණර පිල් කලඹද හැර එයින් අන්‍යවූ ආර්ය බව සිදුකිරීමෙහි සමත් ඥාන දර්ශන විශෙෂයක්වූ පහසු විහරණයක්වූ කිසි උත්තරී මනුෂ්‍ය ධර්මයක් අවබොධ නොකරන ලදැයි” කීය.

‘මෙසේ කීකල්හි චිත්ත ගෘහපතිතෙම අචේල කාශ්‍යපට ‘පින්වත, නග්න බවද මුඩුබවද වැලිපිසින මොණරපිලද හැර එයින් අන්‍යවූ ආර්යභාවය සිදුකිරීමට සමත් ඤාණ දර්ශනයක්වූ පහසු විහරණයක්වූ කිසි උත්තරී මනුෂ්‍ය ධර්මයක් අවබොධ නොකරනලද්දේ නම්, තොපගේ ධර්මය යහපත්කොට දෙශනාකරන ලද බව ආශ්චර්යයකි. අද්භූතයකියි” කීය.

“ගෘහපතිය, තොප උපාසක බවට පැමිණ කෙතෙක් කල් වන්නේද?”

“ස්වාමීනි, මාද උපාසක බවට පැමිණ අවුරුදු තිසක් පමණ වේයයි” කීය.

“ගෘහපතිය, මේ තිස් වර්ෂය තුළ තොප විසින් ආර්යබවට සුදුසුවූ ඥාන දර්ශන විශෙෂයක්වූ පහසු විහරණය ඇති උත්තරී මනුෂ්‍ය ධර්මයක් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කුමක් හෙයින් නැත්තේද? ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තේ නම් කාමයෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් විතර්ක විචාරයන් සංසිඳීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම්විටෙක කැමැත්තෙම් නම් ප්‍රීතියගේ වෙන්වීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් සැපයාගේ ප්‍රහාණයෙන්ද හටගත් ප්‍රීතිය හා සැපය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුව කාලක්‍රියා කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ යම් සංයොජනයකින් යුක්තවූ චිත්ත ගෘහපතිතෙම නැවත මේ ලොකයට එන්නේනම් ඒ සංයොජනය නැතැයි යම්බඳු මට මෙසේ ප්‍රකාශකරන්නේනම් එය පුදුම නොවේයයි” කීයේය.

මෙසේ කීකල්හි අචේල කාශ්‍යපතෙම චිත්ත ගෘහපතියාට, “යම්හෙයකින් වනාහි සුදු වස්ත්‍ර හඳින්නාවූ ගිහියෝ මෙබඳු මනුෂ්‍ය ධර්මයට වඩා උතුම්වූ ආර්යභාවය කිරීමට සමර්ථවූ ඤාණ දර්ශන විශෙෂවූ පාසු විහරණය ලබන්නේ නම් ඒ ධර්මයාගේ ස්වාක්ඛාතබව ආශ්චර්යය අද්භූතයයි” කීයේය. “ගෘහපතිය, මේ ධර්ම විනයෙහි මම පැවිද්ද ලබන්නෙමි උපසම්පදාව ලබන්නෙමියි” කීය.

එකල්හි චිත්ත ගෘහපතිතෙම අචෙල කාශ්‍යප රැගෙන ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ස්ථවිර භික්ෂූන්ට “ස්වාමීනි මෙ අචෙල කාශ්‍යපතෙම අපගේ පැරණි යහලුවෙකි. ස්ථවිරයන් වහන්සේලා මොහු පැවිදිකරත්වා මම ඔහුට චීවර, පිණ්ඩපාත, සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන දේ ගැන උත්සාහවත් වන්නෙමියි” කීයේය.

අචේල කාශ්‍යපතෙම මේ ධර්ම විනයෙහි පැවිද්ද ලැබුයේය. උපසම්පදාව ලැබුයේය, ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන් නොබෝකල් ඇත්තේ හුදකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව ආත්ම ආශාව අත්හැර වාසය කරන්නේ නොබෝ කලකින් කුලපුත්‍රයෝ යමක් සඳහා වහා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද නිරුත්තරවූ බ්‍රහ්මචරියාව අවසන්කොට ඇති ඒ නිවණ තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ඉපදීම ක්ෂයවිය. බ්‍රහ්මචර්ය වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මින්මතු ආත්මයක් නැතැයි දැනගත්තේය. කාශ්‍යප තෙම රහතුන්ගෙන් කෙනෙක් විය.