සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

7. චිත්ත සංයුත්තය

8. නිගණ්ඨ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙම මහත් නිගණ්ඨ පිරිසක් සමග මච්ඡිකාසණ්ඩයට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රතෙම මහත් නිගණ්ඨ පිරිසක් සමග මච්ඡිකාසණ්ඩයට පැමිණියේයයි ඇසුවේය. එකල්හි චිත්ත ගෘහපතිතෙම බොහෝ උපාසක පිරිසක් සමග නිගණ්ඨනාත පුත්‍ර තෙම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයා සමග සතුටුවිය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිහට නිගණ්ඨනාත පුත්‍රතෙම ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ අවිතර්ක අවිචාර සමාධියක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයක් ඇත යන මෙය ඔබ අදහන්නෙහිදැයි” ඇසීය.

“ස්වාමීනි, මම අවිතර්ක අවිචාර සමාධියක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයක් ඇතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් නොඅදහමියි” කීයේය.

මෙසේ කී කල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම සිය පිරිස බලා “පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ ඍජුද, මේ චිත්ත ගෘහපතිතෙම කෛරාටික නොවන්නේද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායා නැත්තෙක්දැයි බලත්වා. යමෙක් විතර්ක විචාරයන් නිරුද්ධ කළයුතුකොට සිතන්නේ නම් හෙතෙම වාතය දැලෙන් බඳින්නට සිතන්නේය. යමෙක් විතර්ක විචාරයන් නිරුද්ධකළයුතුකොට සිතන්නේනම් හෙතෙම තම මිටින් ගඩ්ගා ජලය වළක්වන්නට සිතන්නේයයි” කීයේය.

“ස්වාමීනි, ඒ කිමැයි සිතන්නෙහිද? ඤාණය ශ්‍රද්ධාව යන දෙකින් කවරක් වනාහි අතිශයින් ප්‍රණීතද?”

“ගෘහපතිය ශ්‍රද්ධාවට වඩා ඤාණය අතිශයින් ප්‍රණීතය.”

“ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් ප්‍රීතියද දුරු කිරීමෙන් අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම යම් විටෙක කැමැත්තෙම් නම් සැප දුරු කිරීමෙන්ද දුක දරු කිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මම වනාහි අන් කවර ශ්‍රමණයකු කෙරෙහි හෝ බ්‍රාහ්මණයකු කෙරෙහි හෝ ශ්‍රද්ධාවෙන් අවිතර්ක අවිචාර සමාධිය ඇත්තේය. විතර්ක විචාරයන්ගේ නිරෝධය ඇත්තේයයි අදහන්නෙම්ද?”

මෙසේ කී කල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම සිය පිරිස බලා “පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොතරම් වංකද, කොපමණ කෛරාටිකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායාකාරයෙක්දැයි බලත්වා.”

“ස්වාමීනි, දැන්ම වනාහි අපි ඔබවහන්සේ විසින් ‘පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ ඍජුද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ කෛරාටික නොවන්නේද, මේ චිත්ත ගෘහපතිතෙම මායාකාරයෙක් නොවන්නේදැයි’ කියන ලද්ද දනිමු. ස්වාමීනි, දැන්ම අපි ‘පින්වත්හු මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ වංකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ කෛරාටිකද, මේ චිත්ත ගෘහපතිතෙම කොපමණ මායා ඇත්තේදැයි කියන ලද්ද’ මෙසේ දනිමු. ස්වාමීනි ඉදින් නුඹවහන්සේ විසින් මුලින් කියන ලද්ද සත්‍යනම් ඔබ වහන්සේ විසින් පසුව කියන ලද්ද බොරුය. ස්වාමීනි ඉදින් ඔබවහන්සේ විසින් පසුව කියන ලද්ද සත්‍යනම් පළමුව කියන ලද්ද අසත්‍යය.

“ස්වාමීනි, මේ කරුණු සහිත ප්‍රශ්න දහයක් වෙත්. ඔවුන්ගේ අර්ථය යම් කලෙක තේරුම් ගන්නේද, එකල්හි නිගණ්ඨ පිරිස සමග මා කරා පැමිණ දැන්වුව මැනව. එනම් එක් ප්‍රශ්නයකි. එක් උදෙසීමකි (තේරුම් කරන හෝ සිහි කරන) එක් වෙය්‍යාකරණයකි. ප්‍රශ්න දෙකකි. උද්දෙශ දෙකකි. වෙය්‍යාකරණ දෙකකි. ප්‍රශ්න තුනෙකි උද්දෙශ තුනෙකි. වෙය්‍යාකරණ තුනෙකි ප්‍රශ්න සතරකි. උද්දෙශ සතරකි. වෙය්‍යාකරණ සතරකි. ප්‍රශ්න පසකි. උද්දෙශ පසකි වෙය්‍යාකරණ පසකි. ප්‍රශ්න සයකි. උද්දෙශ සයකි. වෙය්‍යාකරණ සයකි. ප්‍රශ්න සතකි. උද්දෙශ සතකි. වෙය්‍යාකරණ සතකි. ප්‍රශ්න අටකි. උද්දෙශ අටකි. ව්‍යොකරණ අටකි. ප්‍රශ්න නවයකි උද්දෙශ නවයකි වෙය්‍යාකරණ නවයකි. ප්‍රශ්න දසයකි. උද්දෙශ දසයකි. වෙය්‍යාකරණ දසයකි” යනුයි. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාගෙන් කරුණු සහිත මේ ප්‍රශ්න දසය අසා හුනස්නෙන් නැගිට ගියේය.