සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
6. සාකච්ඡා (බොජ්ඣංග) වර්ගය
6. අභය කුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවාසය කරන සේක. ඉක්බිති අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, පූරණ කාශ්‍යප තෙමේ මෙසේ කීයේය.
“නොදැනීමට නොදැක්මට හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නොදැනීම නො දැක්ම වෙයි. නුවණින් දැකීමටද හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නුවණින් දැකීම වෙයි.’ භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් වදාරණ සේක්ද?” යනුයි.
“රාජකුමාරය, නොදැනීමට නොදැකීමටද හේතුවක් ඇත, කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නොදැනීම නොදැකීම වෙයි. රාජ කුමාරය, නුවණින් දැකීමටද හේතුවක් ඇත. කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නුවණින් දැකීම වෙයි” යනුයි.
“ස්වාමීනි, නොදැනීමට නොදැකීමට හේතු කවරේද? කරුණු කවරේද? කෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයිද?”
“රාජ කුමාරය, යම් කාලයෙක කාමරාගයෙන් වඩනා ලද කාම රාගයෙන් යුත් සිතින් වාසය කෙරේද. උපන් කාමරාගයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද, නොදකියිද,
“රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් වඩනාලද ක්‍රෝධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකීද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේද හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජ කුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ථිනමිද්ධයෝ මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරෙයිද, උපන් ථිනමිද්ධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද නොදකියිද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම්කාලයක උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්චකුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියි, නොදකීද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවතද අනිකක්ද කියමි. යම්කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද, විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකියිද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්‍රමයක් වේද?”
“රාජකුමාරය, මොව්හු නීවරණයෝ නම් වෙත්.”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. ස්වාමීනි, එක එක නීවරණයෙකින් මඩනා ලද්දේ නමුදු ඇති සැටි නොදනියි. නොදකියි. නීවරණ පසෙන්ම මඩනා කල්හි කියනුම කවරේද?”
ස්වාමීනි, නුවණින් දැකීමට හේතු කවරේද, කරුණු කවරේද? කෙසේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව නුවණින් දැකීම වේද?”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් ඇති සැටියෙන් දනියි දකියි. රාජකුමාරය, නුවණින් දැනීමට දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණෙතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජ කුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටි දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්‍රමයක්ද?”
“රාජකුමාරය, මොවුහු බොජ්ඣංගයෝ නම් වෙත්”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. ස්වාමීනි එක් එක් බොජ්ඣංගයකින් යුක්තවූයේ නමුදු ඇති සැටි දනියි. දකියි. බොජ්ධංගයන් සත්දෙනාගෙන් යුක්තවූයේ නම් කියනුම කවරේද? ස්වාමීනි, ගිජ්ඣකූට පර්වතයට නගින්නාවූ මට ශරීරයේ යම් වෙහෙසක් වීද, සිතේ යම් වෙහෙසක් වීද, මගේ ඒ වෙහෙසද සන්සිඳුනේය. මට ධර්මයද අවබොධ වූයේයයි” කීය.
සවෙනි බොජ්ඣංග වර්ගය නිමි.