ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
6. තිණසත්‍ථරදායක ථෙරාපදානය
’’හිමවතට නුදුරු තන්හි පියුම් වලින් ගැවසීගත් නා නා පක්‍ෂීන්ට වාසස්ථානවූ, මහා ජාතස්සරයක් (ඉබේ හටගත් මහ විලක්) විය.
’’මම එම විලෙහි පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහිදී) අහස් මගෙහි යන ශ්‍රමණනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
’’ලෝකයෙහි (ඊට වඩා වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩ සිටි සේක.
’’මම අඟින් තෘණ ගෙන නිසීදනයක් (කොට) දුනිමි. තිස්ස බුදුරජාණන් වහන්සේ එහි වැඩහුන් සේක.
’’නැමුණාවූ (ගුණ) මෙනෙහි කරන්නාවූ (මම) විවේකීව වැඩහුන් ලෝකනායකවූ, මහා මුනිවූ බුදුරජාණන් වහන්සේට සිත පහදවා වැන්දෙමි.
’’එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම නිර්‍මාණරතී දෙව්ලොව උපනිමි. දුගතියක් නොදනිමි. මෙය ඇතිරිය පිදීමේ විපාකයයි.
මින් දෙවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිහ නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසත්‍ථරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිණසන්ථරදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.