ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

8. නාගසමාල වග්ග

8. පාටලීපුප්ඵිය ථෙරාපදානය

’’එකල්හි මම සියුමැලිවූ, සුවසේ වැඩුණු සිටු පුත්‍රයෙක් වීමි. පළොල් මල් රෙදි පටෙහි (එක්කොට) එය ගෙන ගියෙමි.

’’(එකල්හි) ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, රන් ඇගෑවක් මෙන් බබළන, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, නරශ්‍රේෂ්ඨවූ, (අනාථ) නාථවූ, සියල්ල අවබෝධකළ, තිස්ස බුදුරජාණන් වහන්සේට මම සතුටුවූයේ, සතුටු සිතින් (එම) මල්වලින් පිදීමි. (උන්වහන්සේට) නමස්කාරද කෙළෙමි.

’’එකල්හි මින් දෙයානූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.

’’මෙයින් දෙඅනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.