ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
1. සුමෙධා ථෙරී අපදානය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
’’කෝණාගමන බුදුරජුන් අභිනව නිවාසයක්වූ සංඝාරාමයෙහි වැඩවෙසෙන කල්හි යෙහෙළියන් තිදෙනෙකුවූ (අපි) විහාර දානයක් දුනිමු.
’’ඒ හේතුවෙන් දස වරක්ද, සියක් වරක්ද, දහස් වරක්ද, සියයේ (වාර) සියවරක්ද, (හෙවත් එකොළොස් දහස් එක්සිය දස වරක්ද) දෙවියන් අතුරෙහි උපනිමු. මිනිස් බැව්හි උපන් වාර ගැන කවර කථාවක්ද?
’’දෙවියන් අතුරෙහිදු මහත් ඎද්‍ධි ඇත්තියෝ වීමු. මිනිසත් බැව්හි (මහෙශාක්‍ය වීම ගැන) කවර කථාවෙක්ද? මම (සක්විති රජුගේ) සප්තරත්නයට අයත් මෙහෙසියවූ ස්ත්‍රී රත්නයද වීමි.
’’ධනඤ්ජානියද, ඛෙමාවද, මමද යන අපි තිදෙන මෙහි රැස්කළ පින් ඇත්තාහු, මැනවින් සමෘධිමත්වූ කුල ප්‍රවේනි ඇත්තියෝ වීමු.
’’සියළු අවයවයන්ගෙන් සරසන ලද ආරාමයක් මැනවින් කොට බුද්ධ ප්‍රමුඛ සංඝයාට පිළිගන්වා ප්‍රමුදිත වීමු.
’’එම කර්මයාගේ බලයෙන් යම් යම් තැන උපදිම්ද, දෙවියන් අතුරෙහිදු ශ්‍රේෂ්ඨ බවට පැමිණියා, මිනිසුන් අතුරෙහිදු එසේම (ශ්‍රේෂ්ඨ බවට පැමිණියා) වීමි.
’’කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
’’ඔහුට සුවසේ වැඩුණු රාජ කන්‍යාවන් සත්දෙනෙක් වූහ. ඒ දූවරු බුද්ධොපස්ථානයෙහි නිරතවූවාහු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහිද හැසුරුණාහුය.
’’(මම) ඒ (සත්) දියණියන්ගේ යෙහෙළියක්ව සීලයන්හි මැනවින් හික්මුණුබවට පැමිණියා, සකසා දන් දී ගිහිගෙයිදීම ශීලයෙහි හැසුරුණෙමි.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මම ඉන් චුතව, යාම දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. ඉක්බිති තුෂිත දෙව්ලොවට ගියෙමි. අනතුරුව නිර්මාණරතියටද, යලි වශවර්තිපුරයටද ගියෙමි.
’’පුණ්‍යකර්‍මය සතහිවූ මම යම් යම් තැනක උපදිම්ද, ඒ ඒ තන්හි රජවරුන්ගේ (අග) මෙහෙසි බවද කෙළෙමි.
’’ඉන් චුතවූවා, මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසි බව කෙළෙමි.
’’දෙවියන් අතුරෙහිද, මිනිසුන් අතුරෙහිද, සම්පත් අනුභවකොට, සියළු තන්හි සුඛිතව, නොයෙක් ජාතීන්හි සැරිසැරීමි.
’’ඒ දුඃඛ හේතුවවූ තෘෂ්ණාවද, ඒ තෘෂ්ණා හේතුව නිසා ප්‍රභව වන්නාවූ හෙවත් ඇතිවන්නාවූ පඤ්චස්කන්ධ නම් දුකද, ඒ (දුඃඛ-සමුදය විරහිත ශාන්ති ලක්‍ෂණ) මූලයවූ නිරෝධයද, ඒ සසුනෙහි අභිමත මධ්‍යම ප්‍රතිපදා මාර්‍ගයද, ඒ නිවණට ප්‍රථම පිවිසීමවූ සෝවාන් මාර්‍ගයද, ධර්මයෙහි ඇලීම කරණකොටගෙන ඒ (අර්හත් ඵලයවූ) නිවණද (දනිමි.)
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් සුමෙධා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමෙධාථෙරියාපදානං පඨමං.