ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
10. උදක දායිකාපදානය
’’මම බන්ධුමතී නගරයෙහි (දිය අදිනා) කුම්භ දාසියක් වීමි. දිය ඇදීමෙන් ජීවත් වෙමි. එයින් දරුවන් පෝෂණය කරමි.
’’නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි පිදියයුතු දෙයක්ද මට නැත. මම (සංඝයාගේ නහන) කොටුවට එළඹ පැන් (පුරවා) තැබීමි.
’’මම මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි මට මැනවින් කරණ ලද දිය ඇදීමේ පුණ්‍යකර්‍මය කරණකොටගෙන නිර්මිතවූ විමානයක් (වේ.)
’’එකල්හි මම දහසක් අප්සරාවන් අතුරෙන් උතුම් තැනැත්තිය වෙමි. මම හැමකල්හි ඒ සියළු දිව්‍යප්සරාවන් කරුණු දසයකින් අභිභවනය (යටපත්) කරමි.
’’දෙව්රජුන් පන්සියයක් දෙනෙකුගේ මෙහෙසි බව කෙළෙමි. සක්විති රජවරුන් විසි දෙනෙකුගේද මෙහෙසි බව කෙළෙමි.
’’දෙව් අත්බැව්හිද, යලි මිනිස් අත්බැව්හිද යන මේ දෙ අත්බැව්හි සැරිසරමි. දුගතියක් නොදනිමි. දිය දීමෙහි මේ විපාකයයි.
’’කඳු මුදුනකදී හෝ, ගස් මුදුනකදී හෝ, අහසෙහිදී හෝ, පොළොවෙහිදී හෝ යම් කලෙක්හි මම ජලය කැමැත්තෙම්ද, වහා එය ලබමි.
’’(මා යන්නාවූ) වැසි නැති දිශාවක් නම් නැත. (එම දිශාවන්හි) තැවුනු, කැකෑරුනු බවකුදු නැත. මාගේ අදහස දැන මහ වැසි වසී.
’’මාගේ නෑ සමූහයා විසින් (මා) කැඳවාගෙන යනු ලබන කිසියම් දිනයක් වේ නම් මම යම් කලෙක්හි වැසි කැමැත්තෙම්ද, එකල්හි මහ වැසි වසී.
’’මාගේ සිරුරෙහි උෂ්ණයක් හෝ දැවිල්ලක් හෝ නැත. මාගේ ශරීරයෙහි (දැලිකුණු) රජස්ද නැත. උදක දානයාගේ මේ විපාකයයි.
’’අද (මම) පිරිසිදු සිත් ඇත්තී, ඉවත්කළ පව්මල ඇත්ති, සියළු ආශ්‍රවයන් ක්‍ෂය කරණ ලද්දී වෙමි. දැන් නැවත ඉපදීමක් නැත.
’’මින් (පෙර) එක් අනූවන කපෙහි වු එකල්හි යම් උදක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උදක දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් උදක දායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකදායිකාථෙරියාපදානං දසමං.
සුමෙධාවග්ගො පඨමො.