ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
9. පඤච දීපිකාපදානය
’’මම එකල්හි හංසවතී නගරයෙහි සඤ්චාරිකාවක් වීමි. පින් කැමැත්තාවූ (මම) ආරාමයෙන් ආරාමයට හැසිරෙමි.
’’කාලපක්‍ෂයෙහි (වූ) අමාවක් දිනයෙහි උතුම්වූ බෝධියක් දුටිමි. මම එහි සිත පහදවන බෝමුලෙහි හුනිමි.
’’එවිට (බර) සිතක් උපදවා සිරසෙහි ඇඳිලි බැඳ, එකෙණෙහි සොම්නස් උපදවා මෙසේ සිතීමි.
’’ඉදින් බුදුරජතෙම අපමණ ගුණ ඇත්තේ වේනම්, අසමවූ, අප්‍රති පුද්ගල වේනම් මට ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වාවා. මේ බෝධිය ආලෝකවත් වේවා’’ යි (කියායි)
’’මාගේ ආවර්‍ජනය (මෙනෙහි කිරීම) සමගම එකෙණෙහි බෝධිය දැල්විනි. (එය) සර්‍ව ස්වර්‍ණමය විය. සියළු දිගුන් බැබලුනි.
’’මම රෑ දාවල් සතක් එහි බෝමුලෙහි හුනිමි. සත්වැනි දවස පැමිණි කල්හි මම පහන් පූජාවක් කෙළෙමි.
’’ආසනය පිරිවරා (වටකොට) පහන් පසක් දැල්වීමි. හිරු උදාවන තුරු එකල්හි මාගේ ප්‍රදීපයෝ දැල්වුනහ.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් නිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’එහි මට මැනවින් කරණ ලද (පහළවූ) විමානය ’’පඤ්චදීපී’’ යයි කියනු ලැබේ. (එය) සියක් යොදුන් උසය. තිස් යොදුනක් පුළුළය.
’’අපමණ ප්‍රදීපයෝ මාගේ හාත්පස දැල්වෙත්. දිව්‍ය භවනය මුළුල්ලම ප්‍රදීපාලෝකයෙන් බැබලුණේය.
’’ඉදින් අනභිමුඛයෙහි හිඳ (යමක්) බලන්නට කැමති වෙම්ද, (එවිට) උඩද, යටද, සරසද සියල්ල ඇසින් දකිමි.
’’යම්තාක් (තන්හි) සුගති-දුගති(වල උපන් සත්ත්‍වයන්) දකින්නට කැමති වෙම්ද, එහි වෘක්‍ෂයන්හි හෝ පර්වතයන්හි හෝ (ඒ හේතුවෙන් සිදුවන) ආවරණයක් නැත.
’’අසූවක් දෙව් රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සියයක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
’’දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද යම් යම් යෝනියක උපදිම් නම් සියක් දහසක් ප්‍රදීපයෝ මා පිරිවරා දැල්වෙත්.
’’දෙව්ලොවින් චුතව මව් කුසෙහි උපනිමි. මම කුසට (පිළිසිඳ ගැනීම් වශයෙන්) ගිය මාගේ ඇස් නොපියවේ.
’’කරණ ලද පුණ්‍යකර්‍මය හා යෙදුනාවූ සියක් දහසක් ප්‍රදීපයෝ තිඹිරිගෙහි දැල්වෙත්. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
’’අන්තිම භවය පැමිණි කල්හි (තෘෂ්ණා සහිත) සිත (තෘෂ්ණාවෙන් ඉවතට) පෙරළා දැමීමි. මම ජරා-මරණ විරහිතවූ, සිසිල් බැව් ඇති නිවණ අවබෝධ කෙළෙමි.
’’උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත්බවට පැමිණියෙමි. ගෞතම බුදුරජතෙමේ (මාගේ) ගුණ දැන (මා) උපසම්පදා කරවූ සේක.
’’මඩුවක හෝ, රුක්මුලක හෝ, ප්‍රාසාදයන්හි හෝ, හිස් ගෙයක හෝ ධ්‍යන කරණ කල්හි මාගේ (හාත්පස) ප්‍රදීපයෝ දැල්වෙත්.
’’මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂවූවා වෙමි. අභිඥාවන්හි තෙර පැමිණියාද වෙමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
’’සියල්ල සම්පූර්‍ණ ලෙස අවසන් කළා, කොට නිම කරණ ලද කටයුතු ඇත්තී, ආශ්‍රව රහිත වූවාය. පසැස් ඇත්තාවූ මහා වීරයන් වහන්ස, පඤ්චදීපා තොමෝ (ඔබ වහන්සේගේ) පා වඳියි.
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් පඤ්චදීපිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පඤ්චදීපිකාථෙරියාපදානං නවමං.