ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

2. එකු පොසථිකා වග්ග

5. පඤ්චදීපදායිකාපදානය

’’මම එකල්හි හංසවතී නගරයෙහි චාරිකාවේ හැසිරෙන්නියක් වීමි. පින් කැමැත්තී, ආරාමයෙන් ආරාමයට හැසිරෙමි.

’’කාලපක්‍ෂයෙහිවූ (අමාවක්) දිනයෙහි උතුම්වූ බෝධිය දුටිමි. මම එහි සිත පහදවා බෝමුල හුනිමි.

’’ගෞරවයෙන් යුක්ත සිතක් උපදවා සිරසෙහි ඇඳිලි බැඳ වැඳ, සොම්නස ඇතිකොට, එකෙණෙහි මෙසේ සිතීමි.

’’ඉදින් බුදුරජතෙම අපමණ ගුණ ඇත්තේ වේ නම්, අසමවූ අප්‍රති පුද්ගල වේ නම්, මා ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වාවා! මේ බෝධිය ආලෝකවත් වේවා’’ යි (කියායි.)

’’මාගේ ආවර්ජනය (මෙනෙහි කිරීම) සමගම එකෙණෙහි බෝධිය දැල්විනි. (එය) සර්‍ව ස්වර්‍ණමය විය. සියළු දිගුන් බැබළුනු,

’’මම රෑ දාවල් සතක් එහි බෝමුලෙමි හුනිමි. සත්වැනි දවස පැමිණි කල්හි මම පහන් පූජාවක් කෙළෙමි.

’’ආසනය පරිවරා (වටකොට) පහන් පසක් දැල්වීමි. හිරු උදාවනතුරු එකල්හි මාගේ ප්‍රදීපයෝ දැල්වුනහ.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’එහි මට මැනවින් කරණ ලද (පහළවූ) විමානය ’’පඤ්චදීපී’’ යයි කියනු ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුනක් පුළුලුය.

’’අපමණ ප්‍රදීපයෝ මාගේ හාත්පස දැල්වුනහ. දිව්‍ය භවනය මුළුල්ලම ප්‍රදීපාලෝකයෙන් බබලයි.

’’ඉදින් අනභිමුඛයෙහි හිඳ යමක් බලන්නට කැමතිවෙම්ද, (එවිට) උඩද, යටද, සරසද සියල්ල ඇසින් දකිමි.

’’යම්තාක් (තන්හි) සුගති දුගතිවල (උපන් සත්ත්‍වයන්) දකින්නට කැමති වෙම්ද, එහිදී වෘක්‍ෂයන්හි හෝ පර්‍වතයන්හි හෝ (ඒ හේතුවෙන් සිදුවන) ආවරණයක් නැත.

’’අසූවක් දෙවිවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සියයක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි.

’’දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද, යම් යම් යෝනියක උපදිම් නම් සියක් දහසක් ප්‍රදීපයෝ මා පිරිවරකොට දැල්වෙත්.

’’දෙව්ලොවින් චුතව මව්කුසෙහි උපනිමි. මව් කුසට (පිළිසිඳගැනීම්) වශයෙන් ගිය මාගේ ඇස් නොපියවේ.

’’කරණ ලද පුණ්‍ය කර්‍මය හා යෙදුනාවූ සියක් දහසක් ප්‍රදීපයෝ තිඹිරිගෙයි දැල්වෙත්. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.

’’අන්තිම භවය පැමිණි කල්හි (තෘෂ්ණා සහිත) සිත (තෘෂ්ණාවෙන් ඉවතට) පෙරළා දැමීමි. මම ජරා මරණ විරහිතවූ, සිසිල් බැව් ඇති නිවණ පසක් කෙළෙමි.

’’උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත්බවට පැමිණියෙමි. ගෞතම බුදුරජතෙමේ (මාගේ) ගුණ දැක මා උපසම්පදා කරවූ සේක.

’’මණ්ඩපයක හෝ, රුක්මුලක හෝ, ප්‍රාසාදයන්හි හෝ, ගුහාවන්හි හෝ, හිස් ගෙයක හෝ වසන්නීවූ මට හැම කල්හි පහන් දැල්වේ. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.

’’මාගේ දිවැස පිරසිදු විය. මම සමාධියෙහි දක්‍ෂවූවා වෙමි. අභිඥාවන්හි තෙර පැමිණියාද වෙමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.

’’සියල්ල සර්‍මපූර්‍ණ ලෙස අවසන්කොට නිමකරණලද කටයුතු ඇත්තී ආශ්‍රව සහිතවූවාය. පසැස් අත්තාවූ මහා වීරයන් වහන්ස, පඤ්චදීපා තොමෝ ඔබවහන්සේගේ පා වඳියි.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් පඤ්චදීපදායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

පඤ්චදීපදායිකාථෙරියාපදානං පඤ්චමං.