ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
6. නළමාලිකාපදානය
’’’’මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. එකල්හි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
’’පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්‍රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී, (මම) බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’සතිසක් දෙව්රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මාගේ සිතින් පතන ලද්ද අදහස්වූ පරිදි පහළවේ.
’’දස සක්විති රජ කෙනෙකුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මම රැස්කළ පින් ඇත්තියක්ව භවයෙහි සැරිසරමි.
’’මාගේ (කරන ලද) කුශලය විද්‍යමානවේ. මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අද ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තියක්ද වෙමි.
’’අද පිරිසිදු සිත් ඇත්තියකි. පහවගිය සිත්හිවූ පව් ඇත්තීය. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මින් (පෙර) සිව් අනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බට මලක් පිදීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් නළමාලිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළමාලිකාථෙරියාපදානං ඡට්ඨං.