ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
1. කුණ්ඩලකෙසාපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි මම හංසවතී නගරයෙහි නන්රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.
’’එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.
’’එකල්හි මහා කාරුණීකවූ පදුමුත්තර නම් බුදුරජතෙම සුභ නම් භික්‍ෂුණියක් වහා දහම් අවබෝධ කරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූහ.
’’එය අසා ප්‍රමුදිතව බුදුරජුන්හට දන් දී, සිරසින් පාමුල වැටී එම තනතුර පැතීය.
’’මහාවීරවූ බුදුරජතෙමේ, ’’සොඳුර, තී විසින් පතන ලද යමක් වේ නම්, ඒ සියල්ල සමෘද්‍ධ වන්නේය. නිවනට පැමිණියා සුව ඇත්තියක් වනු මැනවැ’’ යි අනුමෝදනා කළ සේක.
’’මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහල වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්‍රීවූ, ’’භද්දකුණ්ඩලකෙසී’’ යයි බුද්‍ධශ්‍රාවිකාවක් වන්නෙහිය.’’
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’ඉන් චුතව යාම දෙව්ලොවට ගියෙමි. මම ඉන් තුසිතයට ගියා, එතැනින් නිර්‍මාණරතියටද, ඉන් වසවර්ති පුරයටද ගියෙමි.
’’එම පුණ්‍ය කර්‍මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම්ද, ඒ ඒ තන්හි රජුන්ගේ මෙහෙසිබව කෙළෙමි.
’’ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජුන්ගේද, මණ්ඩලීක රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
’’දෙව් මිනිස් දෙගතියෙහි සම්පත් අනුභවකොට, හැම තන්හි සුව ඇත්තීව, නොයෙක් කල්පයන්හි සැරිසැරීමි.
’’කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජ තෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
’’එම (කිකී) රජුගේ සිව්වන දියණියවූ ’’භික්ඛුදාසී’’ යයි ප්‍රකටවූ මම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
’’(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද,
’’(එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල) ඛෙමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, එසේම මමද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි සමෘද්ධවූ සිටු කුලයක උපන්නී යම් කලෙක්හි මම යොවුන් බැව්හි සිටියාද,
’’(එකල්හි) මම වධය පිණිස ගෙනයන්නාවූ සොරෙකු දැක ඔහු කෙරෙහි ඇළුනී, මාගේ පිය තෙම ඔහු එම වධයෙන් දහසක් දීමෙන් මුදා
’’පියතෙම මාගේ අදහස දැන ඕහට පාවා දුන්නේය. මම ඕහට ඉතා විශ්වාසවූ, දයාවත්වූ, හිතවත්වූ තැනැත්තියක් වීමි.
’’දොස් සහිත අදහස් ඇති ඒ සතුරු තෙමේ මාගේ ආභරණ ලෝභයෙන් චොරප්පාත නම් පර්‍වතයට (මා) ගෙන ගොස් මැරීමට සිතීය.
’’එකල්හි මැනවින් කළ ඇඳිලි ඇති මම ස්වාමියාට වැඳ ජීවිතය රකින්නී මෙම වචනය කීමි.
’’ස්වාමීනි, මේ රුවන්මුවා අඟු පළඳනාවද, බොහෝවූ මුතුද, වෙරළුමිණිද යන සියල්ල ගනු මැනව. මාද දාසියකැයි ප්‍රකාශ කරනු මැනව.
’’සොඳුර බසිනු මැනව. දැඩිකොට නොහඬව. නොනසා ලබාගත හැකි ධනය ගැන මම නොදනිමි.
’’යම් තැනක පටන්කොට තමා සිහි කෙරෙම්ද, යම් තැනක පටන් කොට නුවණැතිබවට පැමිණියා වෙම්ද, මම ඔබ කෙරෙන් අන්‍යවූ ඉතා ප්‍රියවූවෙක් නොදනිමි.
’’එනු මැනව. මම පැදකුණු කොට වැළඳ ගන්නෙමි. දැන් නැවත ඔබගේ හා මගේ සඞ්ගමයක් නැත.’’
’’සියළු තන්හි පුරිස් තෙම නුවණැත්තේ නොවේ. ඒ ඒ තන්හි විමසා බලනසුළුවූ ස්ත්‍රීහුද නුවණැතියෝ වෙති.
’’සියළු තන්හි පුරිස් තෙමේම නුවණැත්තේ නොවේ. වහා අභිවෘද්ධිය ගැන සිතා බලනසුළු ස්ත්‍රීහුද නුවණැත්තියෝ වෙති.
’’සැබවින්ම කෙටියෙන්ද, ඉක්මණින්ද, නොයෙක් අදහස් සිතීමි. ඌර්‍ණමෘගයා මෙන් එකල්හි මම මෙසේ සතුරා නැසීමි.
’’යමෙක් තෙම මතුවූ අදහස වහා අවබෝධ නොකෙරේ නම්, ඒ මඳ නුවණැත්තේ පර්‍වතයෙහි (වැටි නැසෙන) සොරෙකු මෙන් නැසේ.
’’යමෙක් තෙම මතුවූ අදහස වහා අවබෝධ කෙරේ නම්, එකල්හි මම සතුරාගෙන් මිදුනාක් මෙන් (හෙතෙම) සතුරු අවහිරයෙන් මිදේ.
’’එකල්හි එම සතුරා පර්‍වත ප්‍රපාතයෙහි හෙළා මම සෙතාම්බර (සුදු වස්ත්‍ර හඳිනා) නිවටුන්ගේ සමීපයට එළඹ පැවිදිවීමි.
’’එකල්හි මාගේ කෙස් සර්‍වාකාරයෙන් අඬුවෙන් උදුරා පැවිදිකරවා නිරතුරුව ස්වකීය ධර්‍මය කීහ.
’’ඉක්බිති මම එය ඉගෙන හුදකලාව හිඳ, එම ධර්‍මය මෙනෙහි කෙළෙමි. සුනඛයෙක් තෙම කපා දමන ලද මිනිස් අතක් (ඩැහැ)ගෙනවුත් මාගේ සමිපයෙහි හෙලා ඉවත්ව ගියේය. ඒ පණුවන්ගෙන් ගැවසී ගත් අත දැක (පුලවක) පණුවන්ය යන නිමිත්ත ලැබීමි.
’’කලකිරුනී ඉන් නැගිට සහ ධාර්මිකයන්ගෙන් (එය) විචාළෙමි. ’එම කරුණ ශාක්‍ය (පුත්‍ර) භික්‍ෂූහු දනිත්’ යයි ඔවුහු කීහ.
’’ඒ මම එම කරුණ බුදුසව්වන් වෙත එළඹ විචාරන්නෙමැ’’ යි (කීමි.) ඔවුහු මා ගෙන බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ගියාහුය.
’’ඒ ලෝකනායක තෙමේ ස්කන්‍ධ, ආයතන ධාතූහු අශුභයහ, අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ’’ යි මට දහම් දෙසූහ.
’’මම උන්වහන්සේගේ ධර්‍මය අසා දහම් ඇස පිරිසිදු කෙළෙමි. ඉක්බිති දැනගන්නා ලද සදහම් ඇත්තී, පැවිද්දද, උපසම්පදාවද ඉල්වීමි. එකල්හි ලෝකනායක තෙමේ, ’’සොඳුරුවූ තැනැත්තිය මෙහි එව’’ යි වදාළ සේක. එකල්හි මම උපසපන්වූවා ජලය ස්වල්පයක් දුටිමි.
’’මම (ඒ ජලය ගෙන) පා සේදීමෙන් ඇතිවීම සහිතවූ විනාශය දැක එකල්හි සියළු සංස්කාරයෝ එසේයයි සිතීමි.
’’ඉක්බිති (ආශ්‍රවයන් තෘෂ්ණාදීන්ගේ වශයෙන්) නොගෙන මාගේ සිත සර්‍වාකාරයෙන් මිදුනේය.
’’බුදුසසුන කරන්නීවු (මම) ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශීවෙමි. පර සිත් දනිමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයන් ක්‍ෂයකොට අති නිර්‍මලවූවා, පිරිසිදුවූවාද වෙමි.
’’මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්‍ෂයකිරීම නම්වූ නොවිසිරෙන ලද එම අර්ත්‍ථය ඇත්තේද වෙමි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද, මාගේ ඤාණය මහත්ය, පිරිසිදුය.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් කුණ්ඩල කේසා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුණ්ඩලකෙසාථෙරියාපදානං පඨමං.