ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
10. පටාචාරාපදානය
’’මින් පෙර සියක් දහස් වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම (ලොව) පහලවිය.
’’එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී බොහෝ සුව විඳින්නියක් වීමි.
’’එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණ කොට ගියෙමි.
’’ඉක්බිති ලෝකනායක තෙමේ විනයධාරී භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රවවූ, ලජ්ජීවූ, තාදී ගුණ ඇති, කැප නොකැප දැයෙහි නිපුණවූ භික්‍ෂුණියක් වර්‍ණනය කළ සේක.
’’එකල්හි ප්‍රමුදිතවූ සිත් ඇති මම එම තනතුර බලාපොරොත්තු වන්නී, සඞ්ඝයා සහිතවූ ලෝනා බුදුන් පවරා,
’’සතියක් (දන්) වළඳවා, තුන් සිවුරු දී, හිසින් (නැමී) පාමුල වැටී මෙම වචනය කීමි.
’’වීරයන් වහන්ස, මින් (පෙර) අටවෙනි දිනයෙහි ඔබ වහන්සේ විසින් යම් භික්‍ෂුණියක් තොමෝ වර්‍ණනය කරන ලද්දි නම්, ලෝක නායකයන් වහන්ස, ඉදින් (පැතුම) සමෘද්‍ධි වන්නේ නම් මමද එබඳු තැනැත්තියක් වන්නෙමි.
’’එකල්හි මට ශාස්තෘතෙමේ මෙසේ වදාළ සේක. ’’සොඳුරු තැනැත්තිය, බිය නොවනු මැනව. අස්වැසිලි ලබනු මැනව. අනාගත කාලයෙහි මනොරථය ලබන්නෙහිය.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ඖරස (බුද්‍ධ පුත්‍රී) වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, නම්න් පටාචාරා නම්වූ බුද්‍ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය’’ (කියායි.)
’’ඉක්බිති මම ප්‍රමුදිතව, එතැන් පටන් දිවි ඇතිතාක් මෙත් සිතින් සඞ්ඝයා සහිත ලෝකනායක බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
’’එම රජුගේ භික්ඛුණීයයි ප්‍රකටවූ තෙවන දුවණිය වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
’’(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද, රාජකන්‍යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසිදහසක් හවුරුදු කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
’’(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්‍ඛුණීද, භික්‍ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද,
’’මමද, උප්පලවණ්ණාවද, ඛේමාවද, භද්දාවද, භික්ඛුණියද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’දැන් මේ අන්තිම භවයෙහිද මම සැවැත් පුරවරෙහි සමෘද්‍ධවූ, සැපතින් පිරුණු, සිටු කුලයක උපන්නී,
’’යම් කලෙක්හි මම යොවුන් බැවින් යුතුවූවා (කාම) විතර්‍කයට වසඟවූවාද (එකල්හි) මම දනව් වැසි පුරුෂයෙකු දැක ඔහු සමග ගියෙමි.
’’මම එක පුතෙකු වැදීමි. දෙවැන්නා මාගේ කුසයෙහිය. එකල්හි මම දෙමාපියන් දක්නෙමැයි තීරණය කරන ලද්දී,
’’මාගේ ස්වාමියා රුචි නොකෙළේය. එකල්හි ඔහු බැහැර ගියවිට උතුම් සැවැත් පුරයට යාමට එකලාව ගෙයින් නික්මුනා,
’’ඉක්බිති මාගේ ස්වාමියා අවුත් මාර්‍ගයෙහිදි මා හමුවිය. එකල්හි ඉතා දරුණුවු මාගේ කර්‍මජ වාතයෝ වූහ.
’’මාගේ ප්‍රසව කාලයෙහි මහ මේ කුලක් නැංගේය. එකල්හි හිමි තෙමේ ලි (කැපීම) පිණිස ගොස් සර්පයෙකු විසින් (දෂ්ටකොට) මරණ ලදී.
’’එකල්හි දරු වැදූ දුකින් පීඩිතවූ, අනාථවූ මම පිරුණාවූ කුඩා නදියක් දික සිය නිවසට යන්නී,
’’ලදරු පුතා ගෙන එතරවීමි. එතෙර ඉවුරෙහි ලදරු පුතා සතප්වා, මම අනික් පුතු එතෙර කරවීම පිණිස,
’’ආපසු එන්නී, උකුස්සෙක් තෙම විලාප කියන්නාවූ ලදරු පුතු පැහැර ගත්තේය. ගඟ සැඩ පහර සෙසු පුතු ගසා ගෙන ගියේය. සෝදුකින් යුතුවූ ඒ මම,
’’ස්වකීය (දෙමාපිය) ජනයා මළ කල්හි සැවැත්නුවරට ගොස් (එම පුවත) ඇසීමි. එකල්හි මහත්වු ශෝකයෙන් යුතුවූවා, සෝ දුකින් මඩනා ලද්දී (මෙසේ) කීමි.
’’පුතුන් දෙදෙන කළුරිය කළහ. (අතර) මගදී මාගේ ස්වාමියා මළේය. මවද, පියාද, සොහොයුරාද එකම දරසෑයෙහි දැවෙත්.’’
’’එකල්හි කෘශවූ, පඬුවන්වූ, අනාථවූ, බැගෑ සිත් ඇති මම ඒ මේ අත කරකැවෙන්නී, නරදම්සැරිවූ (බුදුරජුන්) දුටිමි.
’’ඉක්බිති ශාස්තෘතෙමේ මට මෙසේ වදාළ සේක. ’’දුවණියෙනි, ශෝක නොකරන්න. සැනසෙන්න, තිගේ ආත්මය ගැන සොයන්න. කිම නිකරුණේ වෙහෙසෙහිද?’’
’’පුත්‍රයෝ ආරක්‍ෂාව පිණිස නොවෙත්. පියතෙමේද නොවේ. නෑයෝද නොවෙති. මරණය විසින් යටපත් කරන ලද්දහුට ඥාතින් කෙරෙහි ආරක්‍ෂා බවක් නැත.’’
’’බුදුරජාණන් වහන්සේගේ එම වචනය අසා පළමුවෙනි (සෝවාන්) ඵලයට පැමිණියෙමි. පැවිදිව නොබෝ කලකින් රහත් බවට පැමිණියෙමි.
’’බුදුසසුන කරන්නීවු (මම) ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශීවෙමි. පර සිත් දනිමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයන් ක්‍ෂයකොට අති නිර්‍මලවූවා, පිරිසිදුවූවාද වෙමි.
’’ඉක්බිති මම බුදුරජුන් සමීපයෙහිදී සියළු විනය උගතිමි. තත්වූ පරිදි සියල්ල විස්තර වශයෙන් දකිමි.
’’එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම, ’’මේ එකලාවූ පටාචාරා තොමෝ විනයධාරී (භික්‍ෂුණී)න් අතුරෙන් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබීය.
’’මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්‍ෂයකිරීම නම්වූ නොවිසිරෙන ලද එම අර්ත්‍ථය ඇත්තේද වෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් පටාචාරා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පටාචාරාථෙරියාපදානං දසමං.
එකූපොසථිකවග්ගො දුතියො.