ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
9. යශෝධරා ප්‍රමුඛ දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
’’සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර ලෝකනායකවූ දීපඞ්කර නම් බුදුරජතෙම ලොව පහළවිය.
’’මහාවීරවූ දීපඞ්කර බුදුරජතෙම සුමෙධ සුමිත්ත (යුවල) දෙවියන් සහිත ලෝකයෙහි හැසිරෙන්නාහු, දෙවි මිනිස් සුව දක්නාහු, සමාන සැප දුක් ඇතියවුන් වන බව පැවසූහ. ඔවුන්ගේ (අනාගත තත්ත්‍වය) පවසන කල්හි එම රැස්වීමට අපි(දු) එළඹ,
’’මතු එක්වීමෙහිදී (ඔබ) අප සියල්ලන්ගේ හිමියා වනු මැනව. අපි සියල්ලෝම ඔබගේ ප්‍රිය වචන කියන්නාවු, මන වඩන්නාවූ ස්ත්‍රීහු (වෙමු) යි (පැතීමු.)
’’දාන සීලමයවූ සියළු කුසල්ද, භාවනාද මැනවින් වඩන ලදී. බොහෝ කාලයක් මුළුල්ලෙහි අපගේ සියල්ල බුදුරජාණන් වහන්සේට පරිත්‍යාග කරන ලදී.
’’සුවඳ විලවුන්ද, මල්ද, රුවන්මුවා පහන්ද (යන) පතන ලද යම් කිසිවක් නම් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට පරිත්‍යාග කරන ලදී.
’’අනිකුත් කරන ලද කටයුතුද, මනුෂ්‍ය පරිභෝගයට සුදුසු දැයද යන අපගේ සියල්ල බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේට පරිත්‍යාග කරන ලදී.
’’සසර නොයෙක් ජාතීන්හි අප විසින් බොහෝ පින් කරන ලදී. කුදු මහත් භවයන්හි සැරිසරා සම්පත් අනුභවකොට,
’’අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍යපුත්‍ර (ගෞතම)යන් වහන්සේගේ මැදුරෙහි නොයෙක් කුලයන්හි උපන්නාවූ, කමනීය වර්‍ණ ඇත්තාවූ අප්සරාවෝ වීමු.
’’ලාභයෙන්ද, යසසින්ද අගතැන් පැමිණියාහු, සියල්ලන් විසින් සත්කාර කරන ලද්දාහු, හැම කල්හි ආහාර පාන ලාභී වූවාහු, අපි (සියල්ලන් විසින්) බුහුමන් කරන ලද්දියෝද වීමු.
’’ගිහිගෙය අතහැර අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාහු, අඩ මසක් නොපැමිණි කල්හිම (අපි) සියල්ලෝ නිවනට පැමිණියෝ වෙමු.
’’ආහාරපානද, වස්ත්‍ර හා සේනාසනද ලබන්නියෝ වූවාහු, සියළු ප්‍රත්‍යයෝ (තමන්) වෙතට පැමිණෙත්. හැම කල්හි (සියල්ලන් විසින්) සත්කාර කරන ලද්දියෝද, පූජා කරන ලද්දියෝද (වෙමු.)
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්ිපිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් යශොදරා ප්‍රමුඛවූ දසදහසක් භික්‍ෂුණින් වහන්සේ බුදුරජුන් හමුවෙහි මෙම ගාථාවන් වදාළ සේක.
යසොධරාපමුඛදසභික්ඛුනීසහස්සාපදානං නවමං.