ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
10. යශොධරා ප්‍රමුඛ අටළොස් දහසක් භික්‍ෂුණින්ගේ අපදානය
’’ශාක්‍ය කුලයෙහි උපන්නාවූ යශොධරා ප්‍රමුඛවූ අටළොස් දහසක් භික්‍ෂුණීහු සම්බුදුරජුන් වෙත එළඹියාහුය.
’’අටළොස් දහසක්වූ ඒ සියළු භික්‍ෂුණීහු මහත් ඎද්‍ධි ඇත්තාහු වෙත්. (ස්වකීය) බලය තත්වූ පරිදි ආරොචනය කරමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳිත්.
’’මහා මුනීන් වහන්ස, (අපගේ) ජාතියද, ජරාවද, ව්‍යාධියද, මරණයද ක්‍ෂය විය. ලෝකනායකයන් වහන්ස, ආශ්‍රව රහිතවූ අමෘතවූ ශාන්ත පදයට යමු.
’’මහා මුනීන් වහන්ස, ඉදින් පෙර (අප) සියල්ලන්ගේ වැරදිමක් ඇත්තේ වි නම්, බුදුරජාණන් වහන්ස, එම අපරාධය නොදන්නියෝ (වෙමු.) අපගේ (එම අපරාධයට) ක්‍ෂමා වනු මැනවි.’’
’’මාගේ සසුන කරන්නාවූ (තෙපි) ඎද්‍ධියද දක්වව්. සියළු පිරිසගේ යම්තාක් සැක (වෙත් නම්) එයද සිඳිව්.’’
’’මහා වීරයන් වහන්ස, යශෝධරා තෙමෝ මන වඩන්නීය. පියවූ දැකුම් ඇත්තීය. මහා වීරයන් වහන්ස, සියළු භික්‍ෂුණීහු ගිහිගෙහිදී ඔබ වහන්සේගේ (පරිවාර) ස්ත්‍රීහුයි.
’’වීරයන් වහන්ස, සානූකෙළක් ස්ත්‍රීන් අතුරෙන් ඒ අපි ගිහිගෙයි සියල්ලනට අධිපතිවූ ප්‍රමුඛ තැනැත්තියෝ වෙමු.
’’රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්‍රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ (අපට) ගරු කෙරෙත්.
’’එකල්හි ශාක්‍ය වංශයෙහි උපන්නාවූ යශොධරා ප්‍රමුඛ අටළොස් දහසක්වූ සියල්ලෝ (හැමදෙනාහට) ප්‍රමුඛයහ. ඊශ්වරයහ.
’’මහා මුනීන් වහන්ස. කාමධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියවුන් අතුරෙනුදු රූපයෙන් අප හා සමානවූ තැනැත්තියක් නැත.
’’සම්බුදුරජුන් වැඳ, ශාස්තෲන් වහන්සේට ඎද්‍ධි දැක්වූහ. ලෙව්හි නානාවිධවූ මහත් ඎද්‍ධින්ද දැක්වූහ.
’’චක්‍රවාටය සමවූ කයද, උතුරුකුරු දිවයින සමවූ හිසද, දෙදිවයින් සමවූ දෙපියාපත්ද, සිරුරින් දඹදිවද,
’’(මොණර) පිල් දකුණු සයුරද, කුඩා පිහාටු නොයෙක් අතුද, සඳ හිරු ඇස්ද, මේරු පර්‍වතයෙන් ශිඛාවද,
’’චක්‍රවාට පර්‍වතය තුඩද කොට, මුල් සහිතවූ දඹ රුක කම්පනය කරන්නාහු, බුදුරජුන් වෙත එළඹ වඳිත්.
’’ඇත් වෙසද, එසේම අශ්වය, පර්‍වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්‍වතය, ශක්‍ර වේශය (යන මේවා) දැක්වූහ.
’’නරනායකවු වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ බලය කරණකොටගෙන නිපන්නාවූ යශෝධරා ප්‍රමුඛවූ අප වීරවූ බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේගේ) පා වඳිමු.
’’මහා මුණීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමු. චෙතො පරියඤාණයාගේද වශී වෙමු.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත.
’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, අපගේ ඤාණය ඔබ වහන්සේ සමීපයෙහිදී උපන්නේය.
’’පෙර බුදුවරයන්ගේ එක්වීම (කෙබඳුදැයි) අපට දක්වන ලදී. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා අපගේ පින්කම් බොහෝය.
’’මුනීන්ද්‍රයන් වහන්ස, අප විසින් පෙර කුශලයක් කරන ලද නම් (එය ඔබ) සිහි කෙරෙහිය. මහා වීරයන් වහන්ස, අප විසින් ඔබ පිණිස පින් රැස් කරන ලදී.
’’නුසුදුසු තැන් හැර අනාචාරයෙන් වැළකීමු. මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ පිණිස අපගේ ජීවිත පරිත්‍යාග කරන ලදී.
’’නොයෙක් කෙළ දහස් ගණන් අයට අප (පරිවාර) ස්ත්‍රීන් පිණිස දුන්නේය. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා එහිලා අපි නොසතුටු නොවෙමු.
’’නොයෙක් කෙළ දහස් ගණන් අයට අප උපකාර පිණිස දුන්නේය. එහිලා අපි නොසතුටු නොවෙමු. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
’’නොයෙක් කෙළ දහස් ගණන් අයට අප ආහාර සැපයීම පිණිස දුන්නේය. එහිලා අපි නොසතුටු නොවෙමු. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
’’අපගේ නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කෙළෙමු. භයින් මිදීම කරන්නෙමු’’ යයි එසේ දිවි හළෙමු.
’’මහා මුනීන් වහන්ස, ශරීර අවයවයන්හිවූ නා නා විධ අලංකාර වස්ත්‍රද, බොහෝ ස්ත්‍රී භාණ්ඩද ඔබ වහන්සේ සඳහා නොසඟවමු.
’’ මහා මුනීන් වහන්ස, ධන ධාන්‍ය පරිත්‍යාගයද, ගම්, නියම්ගම්, කෙත්, පුතුන් හා දූවරුන්ද, පරිත්‍යාග කරන ලදී.
’’ මහා වීරයන් වහන්ස, අනන්තවූ ඇත්, අස්, ගව යන මොවුහුද, පිරිවර දාසියෝද, ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී.
’’යාචකයනට දනක් දෙමැයි අප සමග යම්සේ මන්ත්‍රණය කළේද, උතුම් දනක් දෙන්නහුට අපගේ දොම්නසක් නොදකිමු.
’’මහා වීරයන් වහන්ස, බහුවිධවූ සසරෙහි නන් වැදෑරුම්වූ බොහෝ දුක් අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී.
’’සැපතට පැමිණියාහු සතුටු නොවෙමු. දුක් පැමිණි කල්හි දොම්නස් ඇත්තියෝද නොවෙමු. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස හැම තන්හි උපෙක්‍ෂා වීමු.
’’සම්බුදුරජතෙම අනුගමනය කළ මගින් යම් දහමක් පැතීද, මහා මුනි තෙමේ සැප දුක්ද අනුභවකොට (ඒ) සම්‍යක් සම්බෝධියට පැමිණිසේක.
’’බ්‍රහ්මදෙව නම්වූ, ලෝකනායකවූ ගෞතම බුදුරජුන්ගේද, ඒ බොහෝවූ සෙසු බුදුවරයන්ගේද, උන්වහන්සේලා හමුවීම අපට විය.
’’මහා මුනීන් වහන්ස, ඔබ පිණිස අපගේ බොහෝ පින්කම් (විය.) අපි බුදු දහම් සොයන්නාවූ ඔබගේ පරිවාරිකාවෝ (විමු.)
’’සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර ලෝකනායකවූ දිවකුරු බුදු තෙමේ ලොව පහළවිය.
’’පසල් දනව්වෙහි සොම්නස්වූ මිනිස්සු බුදුරජුන් පවරා උන්වහන්සේ වැඩමවන මග පිරිසිදු කෙරෙත්.
’’එකල්හි හෙතෙම සුමේධ නම් බමුණෙක් විය. සියල්ල දක්නාවූ බුදුරජුන්හට දීර්ඝ මාර්‍ගයද පිළියෙළ කළේය.
’’එකල්හි (අපි) සියල්ලෝ බමුණු කුලයෙහි උපන්නියෝ වීමු. එම සමාගමයට ගොඩ දිය හටගන්නාවූ මල් ගෙන ආවෙමු.
’’එසමයෙහි මහත් යසස් ඇති, මහාවිරවූ එම දීපඞ්කර බුදුරජතෙම ඔදවැඩි සිත් ඇති තවුසා දක (මෙසේ) පැවසූසේක.
’’ඔදවැඩි සිත් ඇති තවුසාහට ඔහුගේ මාර්‍ගය විමසන කල්හි පෘථිවිය සෙලවෙයි. නාද කෙරෙත්. දෙව්ලෝ සහිතව කම්පා වෙයි.
’’දිව්‍ය කන්‍යාවෝද, මනුෂ්‍යයෝද, දෙවියන් සහිතවූ අපිදු පිදිය යුතු නා නා භාණ්ඩ පුදා පැතූහ.
’’දීපඞ්කර නම්වූ බුදුරජතෙම ඔවුනට මෙසේ පැවසූහ. ’’අද යමෙක් තුටු කරන ලද ප්‍රාර්ත්‍ථනාවක් ඇද්ද, ඔවුහු හමුවන්නාහුය’’ (කියායි.)
’’මින් අපරිමෙය්‍යවූ කල්පයෙහි හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර බුදුරජතෙම අපට යමක් පැවසීද, එම වචනයට අනුව සතුටුවන්නාවූ අපි මෙසේ කරනසුළු තැනැත්තියෝ වීමු.
’’එහිදී මැනවින් කරන ලද එම කර්‍මයට සිත පැහැදවූහ. දෙව් මිනිස් දෙගතියෙහි අපමණව (සම්පත්) අනුභවකොට,
’’දෙවියන් අතුරෙහිද, මිනිසුන් අතුරෙහිද (මෙසේ) සැපදුක් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමු.
’’රූමත්වූ, භෝග සම්පත් ඇති, කීර්තියෙන් හා සීලයෙන් යුක්තවූ, යලි සියළු (පිරිපුන්) අඟ පසඟ සම්පත් ඇති, කුලයෙහි අතිශයින් සත්කාර කරන ලද තැනැත්තියෝ වෙමු.
’’ලාභය, කීර්තිය, සත්කාරය, අටලෝ දහමින් ගැටීමය (යන මේවා පිළිබඳ) දුක් සහිත සිතක් නැත. බියක් නොමැතිව වසමු.
එකල්හි රජුගේ අන්තඃපුරයෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. බුද්‍ධ වීරතෙමේ පෙර කැත් කුමරියන්ගේ උපකාරයන්ද දැක්වීය.
’’උපකාර කරන්නාවූ යම් ස්ත්‍රී කෙනෙක් වූවාහුද, සුවදුක් දෙකෙහි සහභාගීවූ යම් ස්ත්‍රී කෙනෙක් වූවාහුද, යහපත මේයයි කියා දෙන්නාවූ යම් ස්ත්‍රී කෙනෙක් වූවාහුද, අනුකම්පා කරන්නාවූ යම් ස්ත්‍රී කෙනෙක් වූවාහුද ඒ මේ ස්ත්‍රීහු වෙති.
’’සුචරිත ධර්‍මයෙහි හැසිරෙන්නේය. දුශ්චරිතයෙහි නොහැසිරෙන්නේය. ධර්මයෙහි හැසිරෙන තැනැත්තේ මේ ලෙව්හිද, පරලෙව්හිද සුවසේ සැතපේ.
’’ගිහිගෙය හැර දමා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමු. (පැවිදිව) අඩමසක් නොපැමිණි කල්හිම අපි සිව්සස් දනිමු.
’’චීවරද, පිණ්ඩපාතද, ගිලානප්‍රත්‍යයද, සේනාසනද සයුරට රැල මෙන් බොහෝ දෙන නානාවිධව පමුණුවත්.
’’අප විසින් ක්ලේශයෝ දවන කදහ. සියළු ආශ්‍රවයෝ නසන ලදහ. ඇතින්නන් මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වෙසෙමු.
’’ඒකාන්තයෙන් බුද්‍ධ ශ්‍රෙ.්ෂ්ඨයන් වහන්සේගේ සමීපයට අපගේ යහපත් පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙසේ රහත්බවට පත්වූ (අපි) නානාවිධවූ දුක්ද, නානාවිධවූ සම්පත්දැයි සියලු සම්පත් ලබමු.
’’යම් ස්ත්‍රී කෙනෙක් බුදුරජුන්හට පින් පිණිස ස්වකීය ආත්මය දෙද්ද (ඔහුට) සහාය සම්පත්තීහු වෙති. අසංකෘතවූ නිර්‍වාණ පදයද වේ.
’’අතීතවූද, වර්‍තමානවූද, අනාගතවූද (අපගේ) සියළු කර්‍මය ක්‍ෂය විය. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමු.
’’පිරිනිවනට පැමිණෙන්නාවූ තොපට වැඩියෙන් කුමක් කියම්ද, සංස්කාර දොස් ඇත්මැයි. අමෘත පදයවූ නිවනට පැමිණෙව්.’’
මෙහි මේ අයුරින් යශෝධරා ප්‍රමුඛ අටළොස් දහසක් භික්‍ෂුණීන් වහන්සේ බුදුරජුන් හමුවෙහි මෙම ගාථාවන් වදාළ සේක.
යසොධරාපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං දසමං.
කුණ්ඩලකෙසීවග්ගො තතියො.