අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(11) 1. සමණසඤ්ඤා වර්‍ගය

2. බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රය

’’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරයි. කවර සතක්ද යත්? අවබෝධයට කාරණාවු සිහිය, අවබෝධයට උපකාරවූ ප්‍රඥාව, අවබෝධයට කාරණාවූ වීර්‍ය්‍යය, අවබෝධයට කාරණාවූ ප්‍රීතිය, සිත කය දෙකේ බර ඇරීම, එකඟකම, මැදහත් බව, යන සතයි. වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරත්.

කවර විද්‍යා තුනක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානාප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්‍ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි. ) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්‍වයන් දනී.

’’ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත, මේ ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරත්.’’