අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. ආකඞ්ඛ වර්‍ගය

4. දස අරියවඩ්ඪී සූත්‍රය

’’මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.

’’කවර දහයකින්ද යත්? කෙත්වලින් වැඩෙයි. ධන ධාන්‍යයෙන් වැඩෙයි. අඹුදරුවන්ගෙන් වැඩෙයි. දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. සිවුපා සතුන්ගෙන් වැඩෙයි. ශ්‍රද්‍ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ඇසීමෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.

’’යමෙක්තෙම මේ ලෝකයෙහි ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, අඹු දරුවන්ගෙන්ද, සිවුපා සතුන්ගෙන්ද. ඤාති මිත්‍රයන්ගෙන්ද, නැවතද රජුන්ගෙන්ද වැඩේද, යශස ඇත්තාවූ, පුදන ලද්දාවූ, හෙතම වස්තු ඇත්තේ වේ. යම් කෙනෙක් මේ ලෝකයෙහි ශ්‍රද්‍ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ප්‍රඥාවෙන්ද, ත්‍යාගයෙන්ද යන දෙකින් වැඩේද, එබඳු ඤාණවන්ත, සත්පුරුෂ හෙතෙමේ මෙලොවම දෙලොවින් වැඩෙයි.’’