අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

1. බාහුන (වාහන) සූත්‍රය

එක් කාලයෙක් භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර, ගග්ගරා පොකුණු තෙර වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් බාහුන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් බාහුන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කරුණු කීයකින් තථාගත තෙමේ බැහැරවී සිටියේ, වෙන්වී සිටියේද, මිදුණේද, සීමා රහිත සිතින් වාසය කරයිද?’’

’’බාහුනය, තථාගත තෙම ධර්‍ම දහයකින් යුක්තවූයේ බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුණේය, සීමා ඉක්මවූ සිතින් වාසය කරයි. කවර දසයකින්ද යත්?

’’බාහුනය, තථාගතයන් වහන්සේ රූපයෙන් බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුනේය, සීමාවවූ සිතින් වෙසෙයි. වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඤ්ඤාණයෙන්, ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, දුක්වලින්, කෙලෙස්වලින්, බාහුනය, තථාගතයන් වහන්සේ බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුණේය, සීමා ඉක්මවූ සිතින් වෙසෙයි.

’’බාහුනය, යම්සේ ජලයෙහි හටගත්, ජලයෙහි වැඩුණු, උපුලක් හෝ, පියුමක් හෝ, හෙළ පියුමක් හෝ, දිය හා නොගැටී, දියෙන් උඩට පැන සිටීද, බාහුනය, එසේම තථාගත තෙම මේ දශ ධර්‍මයන්ගෙන් බැහැරව සිටියේ, වෙන්ව සිටියේ, මිදුණේ, සීමා ඉක්මවූ සිතින් වෙසෙයි.’’