අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

2. සාසනවුද්‍ධි සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

’’එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, භාග්‍යවතුන් වහන්සේ, ’’ආනන්‍දය, ඒකාන්තයෙන් අශ්‍රද්‍ධාවෙන් යුත් ඒ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. දුශ්ශීලවූ ඒ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. අල්පශ්‍රුතවූ ඒ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. අකීකරු ඒ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. දුෂ්ඨ මිත්‍රයන් ඇති ඒ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. කුසීතවූ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මුළා සිහි ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ලද දෙයින් සතුටු නුවූ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ලාමක අදහස් ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ආනන්‍දය, මේ ධර්‍ම දහයෙන් යුක්තවූ ඒ මහණතෙම මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.

’’ආනන්‍දය, ඒ භික්‍ෂුව වනාහි ශ්‍රද්‍ධා ඇත්තේ, මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ශ්‍රද්‍ධාවත් භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සිල්වත් භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. බහුශ්‍රුත භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. කීකරු භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. යහපත් මිත්‍රයන් ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. පටන්ගත් වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. එළඹ සිටි සිහි ඇති භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ලද දෙයින් සතුටුවන භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. අල්පෙච්ඡ භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සම්‍යක් දෘෂ්ටික භික්‍ෂුව මේ ධර්‍ම විනයෙහි වැඩීමට, නැගීමට, මහත්බවට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.’’