අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
125. ගොතමක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර ගොතමක චෛත්‍යයෙහි වාසය කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“මහණෙනි, මම ප්‍රත්‍යක්ෂකොට දැන ධර්මය දෙශනා කරමි. ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදැන නොවේ. මහණෙනි, කරුණු සහිතව ධර්ම දෙශනා කරමි, කරුණු රහිතව නොවේ. විරුද්ධ කරුණු දුරුකරමින්ම ධර්ම දෙශනා කරමි, විරුද්ධ කරුණු දුරු නොකරමින් නොවේ. මහණෙනි, ප්‍රත්‍යක්ෂ නොකොට නොව ප්‍රත්‍යක්ෂ කොටම දැන ධර්මය දෙශනා කරන්නාවූ කරුණු නැතුව නොව කරුණු සහිතවම ධර්ම දෙශනා කරන්නාවූ, විරුද්ධව කරුණු දුරුකොට නොව, විරුද්ධ කරුණු දුරු කොටම ධර්ම දෙශනා කරන්නාවූ, මාගේ අවවාදය කළ යුතුය. මාගේ අනුශාසනය කළ යුතුය.
“මහණෙනි, තොපට තුටුවීමට සුදුසුය. සතුටු සිත් ඇතිවීමට සුදුසුය. සොම්නස් වීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ, ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුප්‍රතිපන්නය.”
“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ඒ භික්ෂූහු සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවූහ. මේ දෙශනාව කරන කල්හි දස දහසක් චක්‍රවාළ කම්පාවිය.