අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
126. භරණ්ඩුකාලාම සූත්‍රය
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි වඩිනාසේක් කිඹුල්වත්පුරයට වැඩිසේක. මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩිසේකැයි ඇසීය. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහානාමය, යම් තැනක අපි අද එක් රැයක් වාසය කරමුද, ඊට සුදුසු ආවාසයක් දැනගනුව” කියායි. මහානාම ශාක්‍ය තෙමේ “ස්වාමීනි, එසේයයි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී, කිඹුල්වත්පුරයට පැමිණ මුළු කිඹුල්වත් පුරයෙහි ඇවිද කිඹුල්වත්පුරයෙහි යම්තැනෙක භාග්‍යවතුන් වහන්සේ එක් රැයක් වාසය කරන්නේද ඊට සුදුසු ආවාසයක් නුදුටුවේය.
“එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද යම් තැනෙක එක් රැයක් වාසය කරන්නේද ඊට සුදුසු ආවාසයක් නැත. ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ පුරාණ එකට විසූ ශ්‍රමණයෙක්වූ භරංඩුකාලාම නම් ශ්‍රමණ තෙම ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආශ්‍රමයෙහි එක් රැයක් වසන සේක්වායි” කීය.
“මහානාමය, යව. ඇතිරියක් අතුරවයි” වදාළේය. මහානාම ශාක්‍ය තෙමේ “ස්වාමීනි, එසේයයි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඇතිරියක් අතුට පා සේදීම පිණිස පැන් තබා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ස්වාමීනි, ඇතිරියක් අතුරන ලදී. පා දොවීම පිණිස පැන් තබන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් කාලය දක්නාසේකැයි” කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එහි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ පා සේදූහ. ඉක්බිති මහානාම ශාක්‍යයාහට මෙසේ අදහස් විය. ‘අද භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කිරීමට කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ වෙහෙස වූහ. දැන් මම හෙට භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කරන්නෙමි” කියායි. මෙසේ සිතා භාග්‍යවතුන්වහන්සේට වැඳ ගෞරවකොට ගියේය.
“ඉක්බිති මහානාම ශාක්‍යතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහානාමය, ලොකයෙහි මේ ශාස්තෲවරයෝ තුන් දෙනෙක් ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද? මහානාමය, මේ ලොකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේ ඉක්මවීම පනවයි. රූපයන්ගේ ඉක්මවීම නොපනවයි. වෙදනාවන්ගේ ඉක්මවීම නො පනවයි.
“මහානාමය, මේ ලොකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පනවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි. වෙදනාවන්ගේ ඉක්මවීම නො පනවයි.
“මහානාමය, මෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පනවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි, වෙදනාවන්ගේද ඉක්මවීම පනවයි.
“මහානාමය, මේ ශාස්තෲවරයෝ තුන්දෙනෙක් ලොකයෙහි ඇත්තාහ. මහානාමය, මේ තුන් ශාස්තෲවරයන්ගේම නිෂ්ටාව එකක්මද නැතහොත් වෙන්වූ නිෂ්ටා වෙත්ද?”
මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ “මහානාමය, එකකැයි කියවයි” මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියවයි” මහානාම ශාක්‍යයන්ට වදාළේය.
දෙවනුවත් (මෙහි මේ සූත්‍රයේ 11 ඡෙදය යෙදිය යුතුයි.) තෙවනුත් (මෙහි මේ සූත්‍රයේ 11 ඡෙදය යෙදිය යුතුයි.)
“එකල්හි හරංඩුකාලාමයාට මෙබඳු සිතක් විය. ‘මහෙශාක්‍යවූ මහානාම ශාක්‍යයා ඉදිරියෙහි මම ශ්‍රමණ ගෞතමයන් විසින් අප්‍රසාදයට පත්කරන ලද්දේ වෙමි. මම කිඹුල්වත්පුරයෙන් ඉවත්ව යන්නෙම් නම් මැනවි’ කියායි. ඉක්බිති භරංඩුකාලාම තෙමේ කිඹුල්වත්පුරයෙන් ඉවත්ව ගියේය. යම් හෙයකින් කිඹුල්වත්පුරයෙන් නික්ම ගියේද එසේ ගියේම විය. නැවත නො ආයේය.”