අංගුත්තර නිකාය

එක නිපාතය

14. යොධාජීව වර්ගය

133. යොධාජීව සූත්‍රය

“මහණෙනි, අංග තුනකින් යුත් යුද්ධභට තෙමේ රජුට සුදුසුවූයේ රජුගේ පරිභොගය වූයේ රජුගේ අංගයක යන සංඛ්‍යාවට පැමිණෙයි. කවර තුනකින්ද යත්? මහණෙනි, මෙහි යුද්ධභට තෙමේ දුර විදින්නේ වේද, නොවරදිනසේ විදින්නේ වේද, මහත් ඝන දේ විදින්නේ වේද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් යුද්ධභට තෙමේ රජුට සුදුසුවූයේ රජුගේ පරිභොගයවූයේ රජුගේ අංගය යන සංඛ්‍යාවට පැමිණෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම තුනකින් යුත් මහණ තෙම ආහුනෙය්‍ය වන්නේද පාහුණෙය්‍ය වන්නේද දක්ඛිණෙය්‍ය වන්නේද අඤ්ජලිකරණීය වන්නේද ලොකයාගේ අනුත්තර පුන්‍යක්ෂෙත්‍රය වන්නේද වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුර විදින්නේ වෙයි. නොවරදිනසේ විදින්නේ වෙයි. ඝන දෙය විදින්නේ වෙයි.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම දුර විදින්නේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අතීතවූද අනාගතවූද වර්තමානවූද අධ්‍යාත්මවූද බාහිරවූද, ඔළාරිකවූද සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද දුරවූද සමීපවූද යම් රූපයක් ඇත්තේද ඒ සියලු රූපය එය මගේ නොවෙයි එය මම නොවෙමි එය මගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද.

අතීතවූද අනාගතවූද වර්තමානවූද අධ්‍යාත්මවූද බාහිරවූද, ඔළාරිකවූද සුඛුමවූද හීනවූද ප්‍රණීතවූද ඒ සියලු වේදනා ඒ මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද.

“අතීතවූද අනාගතවූද වර්තමානවූද අධ්‍යාත්මවූද බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද හීනවූද ප්‍රණීතවූද ඒ සියලු සංඥා ඒ මාගේ නොවේ ඒ මම නොවෙමි’ ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද.

“අතීතවූද අනාගතවූද වර්තමානවූද අධ්‍යාත්මවූද බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද හීනවූද ප්‍රණීතවූද ඒ සියලු සංස්කාර ඒ මගේ නොවෙයි ඒ මම නොවෙමි ඒ මගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද.

“මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර විදින්නෙක් වෙයි. මහණෙනි, කෙසේ වනාහි මහණතෙම නොවරදිනසේ විදින්නෙක් වෙයිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ දුක යයි තත්වාකාරයෙන් දකියිද මේ දුකට හේතුවයයි තත්වාකාරයෙන් දකියිද මේ දුක නැතිකිරීමයයි තත්වාකාරයෙන් දකියිද මේ දුක නැතිකිරීමේ මාර්ගයයි තත්වාකාරයෙන් දකියිද මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නොවරදින සේ විදින්නෙක් වෙයි.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම මහත් දෙයක් පලායන සේ විදින්නෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මහත් අවිද්‍යාස්කන්ධය පලන්නේද මහණෙනි, මෙසේ වනාහි මහණතෙම මහත් දෙයක් පලන්නෙක් වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් සමන්විතවූ මහණ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි අඤ්ජලිකරණීය වෙයි. ලොකයාගේ අනුත්තර පුන්‍යක්ෂෙත්‍රය වෙයි.”