අංගුත්තර නිකාය

එක නිපාතය

2. රථකාර වර්ගය

16. අපණ්ණක පටිපදා සූත්‍රය

“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ මහණ තෙමේ එකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවත්නා හෙතුවද පටන්ගන්නා ලද්දේ වෙයි. කවර තුනකින්ද?

‘මහණෙනි, මේ සස්නෙහි මහණතෙම ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භෝජනයෙහි පමණ දන්නේ වේද නිදි දුරුකිරීමෙහි යෙදුනේ වේද වෙයි.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගන්නේද අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් ඇසෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ ගලාඑන්නාහුද ඒ ඇස සංවර කිරීම පිණිස පිළිපදියිද චක්ෂුරෙන්ද්‍රිය රකීද චක්ෂුරෙන්ද්‍රියෙහි සංවරයට පැමිණේද.

“කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් නොගන්නේද අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් කණෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ ගලාඑන්නාහුද ඒ කණ සංවර කිරීම පිණිස පිළිපදියිද සොතෙන්ද්‍රිය රකීද සොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණේද.

“නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේද අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් නාසයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ ගලාඑන්නාහුද ඒ නාසය සංවර කිරීම පිණිස පිළිපදියිද ඝාණෙන්ද්‍රිය රකීද, ඝාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේද.

“දිවෙන් රසයක් දැන නිමිති වශයෙන් නොගන්නේද අනූව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් දිවෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ ගලාඑන්නාහුද ඒ දිව සංවර කිරීම පිණිස පිළිපදියිද දිවෙන්ද්‍රිය රකීද, දිවෙන්ද්‍රියෙහි සංවරයට පැමිණේද.

“කයින් ප්‍රශ්ටව්‍යයක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගන්නේද අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් කයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ ගලාඑන්නාහුද ඒ කය සංවර කිරීම පිණිස පිළිපදියිද කායෙන්ද්‍රිය රකීද, කායෙන්ද්‍රියෙහි සංවරයට පැමිණේද.

“සිතින් ධර්මාරමුණක් දැන නිමිති වශයෙන් නොගන්නේවේද අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද යම් හෙතුවකින් සිතෙහි අසංවරව වාසයකරන්නහුට ලාමකවූ ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද ඒ සිත සංවර කිරීම පිණිස පිළිපදියිද මනේන්ද්‍රිය රකීද, මනේන්ද්‍රියෙහි සංවරයට පැමිණේද, මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම භොජනයෙහි පමණ දන්නේ වේද මහණෙනි, මහණතෙම නුවණින් මෙනෙහි කොට ආහාර වළඳන්නේය කෙසේද? ක්‍රීඩා පිණිසද නොවේමය, මද වැඩීම පිණිසද නොවේමය, අඩුතැන් පිරවීම පිණිසද නොවේමය. සැරසීම පිණිසද නොවේමය. මේ ශරීරයාගේ පැවැත්ම යැපීම පිණිසම පීඩා දුරුකර ගැනීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යාවට උපකාර පිණිසම වළඳමි. මෙසේ ආහාර වැළඳීමෙන් පුරාණ වෙදනාද ඉවසමි. අලුත් වෙදනාද නොඋපදවන්නෙමි. නිවරද බවද සැප විහරණයද වන්නෙමි යනුවෙනි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම භෝජනයෙහි පමණ දන්නේ වේ.

‘මහණෙනි, කෙසේ නම් මහණතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දවල් කාලයෙහි සක්මන් කිරීමෙන්ද හිඳීමෙන්ද පඤ්ච නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමුවෙනි යාමයෙහි සක්මන් කිරීමෙන්ද හිඳීමෙන්ද පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණැලයෙන් පාදයෙහි පාදය මඳක් ඉක්මවා තබා සිහි නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට උතුම්වූ සයනය කරයිද, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද හිඳීමෙන්ද පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි.

“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ මහණතෙම ඒකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේවේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවත්නා කාරණයද පටන්ගන්නා ලද්දේ වෙයි.”