අංගුත්තර නිකාය

එක නිපාතය

3. පුග්ගල වර්ගය

26. නසෙවීතබ්බ සූත්‍රය

“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යාමානවෙත් කවර තුන්දෙනෙක් ද යත්. මහණෙනි සෙවනය නොකටයුතුවූ භජනය නොකළ යුතුවූ ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි සෙවනය කළ යුතුවූ භජනය කළ යුතුවූ ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි සත්කාරකොට ගරුකොට සෙවනය කළ යුතූවූ භජනයකළ යුතුවූ ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.

“මහණෙනි, සෙවනය නොකළ යුතුවූ භජනය නොකළ යුතුවූ ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සිත එකඟකිරීමෙන්ද, ප්‍රඥාවෙන්ද තමන්ට වඩා පහත්ද මහණෙනි මෙබඳු පුද්ගලතෙම කරුණාවෙන් විනා අනුකම්පාවෙන් විනා සෙවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.

“මහණෙනි, සෙවනය කළ යුතු භජනය කළ යුතු ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද. මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සිත එකඟ කිරීමෙන් ප්‍රඥාවෙන් තමන් හා සමානවේද? මහණෙනි මෙබඳු පුද්ගල තෙම සෙවනය කළ යුතුය, භජනය කළ යුතුය, ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ශීලයෙන් සමානභාවයට ගියාවූම අපගේ ශීලකථාව වන්නේය.

අපගේ ශීල කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. සිත එකඟ කිරීමෙන් සමානත්වයට ගියාවූම අපගේ සිත එකඟ කිරීම් සම්බන්ධ කථාව වන්නේය. අපගේ ශීලකථාවද පවත් වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. එසේහෙයින් මෙබඳු පුද්ගලතෙම සෙවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය.

“මහණෙනි, සත්කාරකොට ගරුකොට සෙවනය කළයුතු භජනය කළයුතු ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟකිරීමෙන්, ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස් වේද? මහණෙනි, මෙබඳු පුද්ගලතෙම සත්කාරකොට ගරුකොට සෙවනය කළයුතුය, භජනය කළයුතුය, ආශ්‍රය කළයුතුය ඊට හේතු කවරේද? ‘මෙසේ ආශ්‍රය කිරීමෙන් සම්පූර්ණ නොවූ හෝ ශීලරාශිය සම්පූර්ණ කරන්නෙමි සම්පූර්ණකර ගත් ශීල රාශියට ඒ ඒ තන්හි උපකාර ධර්ම ආශ්‍රයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්ණ නොවූ හෝ සමාධි රාශිය සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණ වූ හෝ සමාධි රාශියට ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්ණ නොවූ හෝ ප්‍රඥා රාශිය සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණවූ හෝ ප්‍රඥා රාශියට ඒ ඒ තන්හි නුවණින් අනුබල දෙන්නෙමියි’ කියායි.

“එසේ හෙයින් මෙබඳු පුද්ගලතෙම සත්කාරකොට ගරු කොට සෙවනය කළ යුතුය, භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි මේ පුද්ගලයන් තුන්දෙන ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්ය” යි වදාළසේක.

“තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සෙවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සෙවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ ශ්‍රෙෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණ වලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින් තමහට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේයයි” වදාළේය.