අංගුත්තර නිකාය
එක නිපාතය
3. පුග්ගල වර්ගය
28. ගූථභාණී සූත්‍රය
මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්, කවර තුන්දෙනෙක්ද යත් ගඳගසන කථා කියන පුද්ගලයාය, සුවඳවත් කථා කියන පුද්ගලයාය, මීවැනි මිහිරි කථා කියන පුද්ගලයාය යන තුන්දෙනයි.
“මහණෙනි, ගඳගසන කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේනා මධ්‍යයට ගියේ හෝ රජකුලයන් මැදට ගියේ හෝ ශාක්ෂි විචාරණලද්දේ ‘එම්බල පුරුෂය, මෙහි එව, යමක් දන්නෙහි නම්, එය කියවයි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ හෝ නොදැනම ‘දනිමියි’ කියයි. දන්නේ හෝ නොදනිමියි’ කියයි. නොදක්නේ හෝ ‘දකිමියි’ කියයි. දන්නේ හෝ ‘නොදනිමියි’ කියයි මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හෙතුකොට ගෙන හෝ දැන දැන බොරු, කියන්නේ වේද, මහණෙනි, මේ ගඳගසන කථා කියන පුද්ගලයායයි කියනුලැබේ.
“මහණෙනි, සුවඳ වත් කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේනා මධ්‍යයට ගියේ හෝ රජකුලයන් මැදට ගියේ හෝ ශාක්ෂි විචාරණලද්දේ ‘එම්බල පුරුෂය, මෙහි එව යමක් දන්නෙහි නම්, එය කියවයි’ අභිමුඛයට පමුණුවන ලද්දේවේ. හෙතෙම නොදන්නේ හෝ නොදැනම ‘නොදනිමියි’ කියයි. දන්නේ හෝ ‘දනිමියි’ කියයි. නොදක්නේ හෝ ‘නොදකිමියි’ කියයි. දක්නේ හෝ ‘දකිමියි’ කියයි. මෙසේ තමා හේතුකොට ගෙන හෝ අනුන් හෙතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හෙතුකොට ගෙන හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, ‘මහණෙනි, මේ සුවඳවත් මල් වැනි සත්‍ය කථා කියන පුද්ගලයාය.
“මහණෙනි මීපැනි වැනි කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඵරුෂවචන අත්හැර ඵරුෂ වචනයෙන් දුරුවූයේවේද? නිර්දොෂවූ, කණට සැපවූ, ප්‍රේමය උපදවන්නාවූ හිතතුළට වැදගන්නාවූ ගුණයෙන් පිරුණාවූ, පුරවාසීන් අතර පැවැත්තාවූ බොහෝදෙනා කැමතිවන්නාවූ යම් වචනයක් වේද එබඳු වචන කියන්නේ වේද? මහණෙනි, මේ මීපැණි වැනි වචන කියන පුද්ගලයායි. මහණෙනි මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමානවෙත්.”